
චීනයේ දෙදින නිල සංචාරයක නිරත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ඊයේ (14) බීජිං නුවරදී පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලදී “තුසෙයිඩීඩීස් උගුල” සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමුව තිබේ.
ලොව නව බලවතා ලෙස වේගයෙන් නැගී එන රාජ්‍යයක් හමුවේ, දැනටමත් බලවත්ව සිටින රටක් තුළ බිය, අවිශ්වාසය සහ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වීම “තුසෙයිඩීඩීස් උගුල” ලෙස හැඳින්වේ. පුරාණ ග්‍රීක ඉතිහාසඥයෙකු වූ තුසෙයිඩීඩීස්ගේ නාමයෙන් මෙම සංකල්පය හඳුන්වා දී ඇත.
සාකච්ඡාවලදී අදහස් දැක්වූ චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කළේ, චීනය සහ අමෙරිකාව අතර පවතින වෙනස්කම්වලට වඩා දෙරටේ පොදු අභිලාෂයන් වැදගත් බවය. චීන අමෙරිකා සබඳතා ස්ථාවරව පවත්වා ගැනීම ලෝකයටම යහපතක් වන බවද ඔහු සඳහන් කළේය.
“අපි එකට වැඩ කළොත් දෙරටටම වාසිදායක ප්‍රතිඵල ලැබෙනවා. එකිනෙකාට එරෙහිව ගියොත් දෙපාර්ශ්වයම පීඩා විඳිනවා. ලෝකයම අද අපේ හමුව දෙස බලා සිටිනවා. චීනයට සහ අමෙරිකාවට තුසෙයිඩීඩීස් උගුලට හසු නොවී ගෝලීය අභියෝග ජයගෙන ස්ථාවර ලෝකයක් ගොඩනගන්න පුළුවන්,” යනුවෙන් ෂී ජින්පින් ප්‍රකාශ කළේය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු නියෝජිත කණ්ඩායම චීනයේ බීජිං නුවර වෙත පැමිණියේ ඊයේ රාත්‍රියේදීය. මෙම සංචාරයට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ආරක්ෂක ලේකම් හෙග්සෙත්, ඉලෝන් මාස්ක් සහ ජෙන්සන් හුවාන්ග් ඇතුළු තාක්ෂණික සහ ව්‍යාපාරික ක්ෂේත්රයේ ප්‍රධානීන් රැසක්ද එක්ව සිටියහ.
2017 වසරින් පසු අමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනය වෙත පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර, ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා ආචාර වෙඩිමුර 21ක්ද පිරිනමන ලදී.
මෙහිදී අදහස් දැක්වූ ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ, සිය පාලනය යටතේ චීනය සහ අමෙරිකාව අතර සබඳතා අන් කවරදාටත් වඩා යහපත් මට්ටමකට පත්ව ඇති බවය.
“අපි දිගු කාලයක් තිස්සේ එකිනෙකා හඳුනනවා. ගැටලු ඇති වෙලාවට අපි එකිනෙකා සමඟ සෘජුව කතා කරනවා. චීනය සහ අමෙරිකාව අතර සබඳතාව දැන් ඉතා හොඳයි. ඔබ විශිෂ්ට නායකයෙක්. අද මෙහි සිටින ව්‍යාපාරිකයින් චීනය සමඟ සබඳතා තවදුරටත් තරකර ගැනීමට බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් ට්‍රම්ප් පැවසීය.
මාධ්‍යයට නිරාවරණ නොකළ සාකච්ඡාවලදී ඉරාන යුද්ධය, තායිවාන අර්බුදය, චීනය අමෙරිකානු ව්‍යාපාර සඳහා තවදුරටත් විවෘත කිරීම, හමුදා සන්නිවේදන ශක්තිමත් කිරීම සහ වෙළෙඳ හා කෘෂිකාර්මික සහයෝගීතාව වැනි කරුණු පිළිබඳවද අවධානය යොමුව තිබේ.
හමුවෙන් අනතුරුව නායකයින් දෙපළ බීජිංහි වසර 600ක් පැරණි “දෙව්ලොව පන්සල” වෙතද සංචාරයක නිරත වූ අතර, ලබන සැප්තැම්බර් 24 වැනිදා ධවල මන්දිරයේ සංචාරයකට එක්වන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා ෂී ජින්පින් යුවළට ආරාධනා කර තිබේ.
