වදහිංසාව තුරන් කළ යුතු බව සමාජයේ මතය වුවද, අප්‍රසිද්ධියේ බහුතරයක් එය අවශ්‍ය දෙයක් ලෙස පිළිගනී.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සහ කොළඹ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය එක්ව සංවිධානය කළ “කොළඹ සංවාද 02” වැඩසටහන අද සන්ධාර කැෆේ පරිශ්‍රයේදී පැවැත්වුණේ “වද හිංසනය නැතුවම බැරිද?” යන තේමාව යටතේය. එළඹෙන ජුනි මාසයේ පැවැත්වෙන වද හිංසාවට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව සංවිධානය කරන වැඩසටහන් මාලාවේ පළමු අදියර ලෙස මෙම සංවාදය පැවැත්විණි.

මෙහි සම්පත් දායකයින් ලෙස සමාජ ක්‍රියාකාරී පිලිප් දිසානායක, නීතිඥ ජනක එදිරිසිංහ සහ නීතිඥ දුලාන් දසනායක එක්ව සිටි අතර, ශ්‍රී ලංකාවේ වදහිංසනය සම්බන්ධ සමාජීය, නීතිමය සහ දේශපාලන යථාර්ථය පිළිබඳ ගැඹුරු විග්‍රහයක් සිදු කෙරිණි.

සමාජ ක්‍රියාකාරී පිලිප් දිසානායක සඳහන් කළේ, වදහිංසාව තුරන් කළ යුතු බව සමාජයේ ප්‍රසිද්ධ මතය වුවද, අප්‍රසිද්ධියේ බහුතරයක් එය අවශ්‍ය දෙයක් ලෙස පිළිගන්නා බවයි. ඔහු පෙන්වා දුන්නේ, ගෘහස්ථ මට්ටමේ සිට පාසල්, පොලිස් ස්ථාන සහ සිරගෙවල් දක්වා වදහිංසාව විවිධ ආකාරයෙන් පැතිරී ඇති බවයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය මඟින් වදහිංසාව තහනම් කර ඇති බවත්, එය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇති බවත් ඔහු අවධාරණය කළේය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ වදහිංසාවට එරෙහි සම්මුතියට අනුව ශ්‍රී ලංකාවේ 1994 අංක 22 දරන පනත හරහා වදහිංසාව අපරාධ වරදක් බවට පත්කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

එහෙත්, නීති පවතින නමුත් ඒවා ක්‍රියාත්මක නොවීම බරපතළ ගැටලුවක් බව ද ඔහු කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ වදහිංසාවට එරෙහි කමිටුව (UN CAT Committee) ශ්‍රී ලංකාවේ වදහිංසන තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින අතර, ශ්‍රී ලංකාව එම ගැටලුව තීව්‍රව පවතින රටක් ලෙස නිරීක්ෂණයට ලක්වන බවද ඔහු පෙන්වා දුන්නේය.

2019 වසරේ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව “Shadow Report” වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම ගැටලුව සම්බන්ධයෙන් තවත් සංවිධාන රැසක් එකතු වූ බවත්, මේ වන විට “SLCAT” ජාලය යටතේ සංවිධාන 28ක් එකට එක්ව කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

නීතිඥ දුලාන් දසනායක පෙන්වා දුන්නේ, ආණ්ඩු මාරුවීම් ගණනාවක් සිදුවුවද ශ්‍රී ලංකාව තුළ වදහිංසාව නතර කිරීමට තවමත් නොහැකි වී ඇති බවයි. ඔහු පැවසුවේ, වදහිංසාවට එරෙහිව පුළුල් නීති රාමුවක් ශ්‍රී ලංකාව තුළ තිබුණද, නීතිය ක්‍රියාත්මක කිරීමේ දුර්වලතාවය සහ මහජන අනුමැතිය නිසා එය තවදුරටත් පවත්නා බවයි.

ඔහු පැහැදිලි කළේ, “torture” යනුවෙන් හඳුන්වන්නේ සාමාන්‍ය හිංසනයක් නොව රාජ්‍ය අධිකාරිය යටතේ සිදුවන හිංසනයක් බවයි. විශේෂයෙන් පොලිස් නිලධාරීන් හෝ රාජ්‍ය නිලධාරීන් අතින් සිදුවන වදහිංසාවන් වෙන් වශයෙන් අපරාධ වරදක් ලෙස නීතිය හඳුනාගෙන ඇති බව ද ඔහු කියා සිටියේය.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සංඛ්‍යාලේඛන අනුව, වසර ගණනාවක් පුරා සාමාන්‍යයෙන් වදහිංසාව සම්බන්ධ පැමිණිලි 500කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වදහිංසාවට එරෙහිව තීන්දු රැසක් ලබා දී තිබුණද එය නතර වී නොමැති බවත් ඔහු සඳහන් කළේය.

වදහිංසාව සමාජය විසින් අනුමත කරන තත්ත්වයක් ඇතිවීම ගැන ද ඔහු කනස්සල්ල පළ කළේය. “කුඩු ගෙනාවොත් මරණ දඩුවම දෙන්න”, “සොරකම් කළොත් ගහන්න” වැනි සමාජ මතවාදයන් මඟින් වදහිංසාව සාධාරණීකරණය වන බවත්, දඩුවම් මත පමණක් සමාජ ගැටලු විසඳිය නොහැකි බවත් ඔහු පැවසීය.

නීතිඥ ජනක එදිරිසිංහ පෙන්වා දුන්නේ, වදහිංසාව ශාරීරික හිංසනයක සීමාව ඉක්මවා අද වන විට මානසික වදහිංසාව දක්වා පුළුල් වී ඇති බවයි. පුද්ගලයෙකුට ජීවිතය පිළිබඳ බියක් ඇති කිරීම, අධිකරණ ක්‍රියාවලිය හරහා පීඩනයක් ඇති කිරීම හෝ ජීවත් වීමට නොහැකි තත්ත්වයකට පත් කිරීම ද වදහිංසාවක් ලෙස සැලකිය යුතු බව ඔහු සඳහන් කළේය.

ඔහු අවධාරණය කළේ, වදහිංසාව හැමවිටම බලය සමඟ සම්බන්ධ වන බවයි. “පාලනයට අවශ්‍ය වූ විට වදහිංසාව භාවිතා කරනවා. පොලිසිය ගහනවා කියලා අපි දකින්නේ පොලිසිය විතරයි. නමුත් ඒ ක්‍රියාත්මක වෙන්නේ පාලන අධිකාරියේ අවශ්‍යතාවය අනුව,” යනුවෙන් ඔහු පැවසීය.

වදහිංසාව නීතියෙන් පමණක් නැවැත්විය නොහැකි බවත්, ජනතාව තමන්ගේ නිදහස සහ මූලික අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයෙන් එකාවන්ව ක්‍රියා කිරීම මඟින් පමණක් එයට එරෙහිව සමාජීය ප්‍රතිරෝධයක් ගොඩනැගිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Social Sharing
නවතම පුවත්