
හර්ෂ ද සිල්වා, මිලින්ද මොරගොඩ සහ මහින්ද සමරසිංහ වගේ කිහිප දෙනෙක් මාලිමා ආණ්ඩුව එක්ක සෙට්වෙනවා කියල කතාවක් යනවා. හර්ෂ යහපත් ලංකාවක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න කැපවෙනවා කියල කියනවා. ඒ අනුව මම මගේ උපකල්පනයක් හදාගෙන ඉන්නවා හර්ෂ ඇතුළු සජබේ පිරිසක් (කබීර් හෂීම්ද සහිතව) මාලිමාව එක්ක ආණ්ඩු කරන්න එකතුවීමේ ලොකු හැකියාවක් තියනවා කියල.
ඒ වගේම මාලිමාව පැත්තෙන් කියනවා පිටින් ඉන්න දක්ෂයෝ එකතු කරගන්නවා කියල. මේ දෙක මැච් වෙනවා.
ඒ කියන්නේ මාලිමා ආණ්ඩුව එයාල මෙතෙක් පවත්වා ගත්ත ජවිපෙ – මාලිමා අතුරු මුහුණත (interface) ඉතාම තීරණාත්මක ලෙස වෙනස් කරන්න සූදානම් බවක් පේනවා. වඩා නව ලිබරල් මුහුණතක් එන්න නියමිතයි වගේ පේනවා.
මේ එකතුවෙන කණ්ඩායමේ කෙනෙක් ඇතැම් විට මුදල් ඇමති වගේ අමාත්‍ය වගකීමකින් ඔබ්බට ගිහිල්ල අගමැතිකම දක්වා ඉහලට ඉස්සීමේ හෝ ඔසවාතැබීමේ අවස්ථාවක් එන්නත් පුළුවන්.
මම දකින විදියට ඒක මෙතෙක් අපිට සිතාගත හැකි ඉතාම ඉහල දේශපාලන තීන්දුවක්. එවැන්නක් සිදුවීම මම ඉතාමත්ම කැමති දෙයක්. අගය කරන දෙයක්.
ඊට හේතු පහත පරිදි,
1. සජබේ කොහොමත් බලය උදුරාගැනීමේ කෑදර හදිස්සියක හිටියේ නැහැ. සජිත් එතැන හිටියෙත් නැහැ. අර රට බංකොලොත් වෙලා අමාරුවේ වැටුණ වෙලාවෙත් හර්ෂල ඇත්තටම බලය ගන්න උත්සාහ කලාට වඩා මිනිස්සු කියන්නේ මොකක්ද ඒක කරමු කියන තැන හිටියේ. සජිත් පවා එහෙමයි.
2. සජබේ මාලිමාව ගැන මෘදු ප්රතිපත්තියක හිටියේ මුල ඉඳලම. ඔවුන් දැඩි ප්‍රහාරයක් එල්ල කළේ නැහැ (ආණ්ඩුවට එළියේ බලවේග විසින් ගැහුවා සජබේ විපක්ෂය හැටියට ගහනවට වඩා). පැහැදිලි අඩුපාඩු තිබ්බ උනත් ආණ්ඩුව වට්ටන්න කියල හරි හරියට වැඩ කලේ නැහැ. ඔවුන් ජනතාව දුන්න දේශපාලන තීරණය වන මාලිමාව නිර්මාණය වීමට පසුබිම් වූ කතා වස්තුවට (background story) ගරුකරමින් හිටිය.
3. මේ ආණ්ඩුව කොයි ක්‍රමයකින් හරි පරාජය කිරීම හෝ කකුල් මාට්ටු දමා බිම ඇද වැට්ටවීම ලංකාවේ ඉතාම තීරණාත්මක ජනතා දේශපාලන මංසන්ධියක් ආපසු හැරවීමක් වීම සහ එය ඓතිහාසික දේශපාලන පාපයක් බව ඔවුන් දැන සිටිය. සහ ඒ අනුව ක්‍රියාත්මක උණා.
4. ඒ වෙනුවට ආණ්ඩුව යම් දුෂ්කරතාවක නම් ඉන්නේ (විශේෂයෙන් 2028 ණය ආපසු ගෙවීමත් එක්ක) ඒ සඳහා උදව් වීම අර ඉහත කී ජනතා ජයග්‍රහණය වෙනුවෙන් උදව් කිරීමක් ලෙස ඔවුන් සිතනවා ඇති කියල මට හිතෙනවා (මාලිමාවට උදව් කිරීමකට වඩා).
5. මේ කරුණ මතම ඔවුන්ට පැරණි දේශපාලනයෙන් වෙන්වීමේ මඟක් විවර වෙනවා. වෙනත් විදියකට කිව්වොත් 2024-25 ජනතා ජයග්‍රහණයේ කොටස්කරුවන් වීමට ඔවුන්ටත් හැකිවෙනවා. කොහොම හෝ බලය උදුරා ගැනීමේ රනිල් – රාජපක්ෂ හදිසි ක්‍රමයෙන් ඔවුන් වෙනස් වෙනවා.
6. මේ එක්ක ලංකාවේ දේශපාලනය හරියටම දෙකට බෙදෙනවා. රනිල් රාජපක්ෂ කඳවුර සහ එසේ නොවන කියල.
7. මේ යන මාර්ගය කෙළවර මාලිමාවේ ගමන යම් අවසානයකට අවොත් ඉන් පසුව එළඹෙන දේශපාලන නිමේෂය අර ජනතා අපේක්ෂාවල සහ ඒ බලවේගයේ දිගුවක් ලෙස යම් විදියකින් නැවත ආරම්භ කිරීමට හර්ෂ ඇතුළු කණ්ඩායමට හැකිවෙන්න පුළුවන් (මේක ඉතාම ඈත තියෙන දෙයක්. සාධක වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන් ඉන්දියානු සාධකය).
ඒ කියන්නේ මාලිමාව තමන්ගේ අනාගත දේශපාලන ආරම්භය වෙනත් විදියකට සලකුණු කරනවා වෙන්නත් පුළුවන්. මොකද හේතුව භූමිය වෙනස්වෙමින් තියනවා කියන එක දැන් හැමෝම දන්නා දෙයක්. මුහුණත වෙනස්කිරීමෙන් යම් බූස්ට් එකක් ගන්න පුළුවන්.
කොහොම උනත් තියෙන්නේ අමාරු කාලයක්. ඒ නිසා බලවේග එකතුවීම හොඳයි. විශේෂයෙන් දූෂිත සෙල්ලක්කාර කාබාසිනියා කරන දේශපාලන බලවේග වෙනුවට අදුෂිත සකසුරුවම් සහගත මිනිස්සු එන එක ලංකාවේ අනාගතයට හොඳයි.
