දිට්වා කුණාටුවෙන් පසු නැවතත් වායූ ගෝලයේ කැළඹිලි ස්වභාවයක්!

ජීවිත හා දේපළ හානි රැසකට හේතු වූ “දිට්වා” සුළි කුණාටුවෙන් පසු තත්ත්වය තවමත් යථා තත්ත්වයට පත්ව නොමැති පසුබිමක, දිවයින පුරා යළිත් අධික වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, නිරිත දිග මෝසම ආරම්භ වීමට පෙර දිවයින අවට පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය මැයි 11 වන දා පමණ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද දිවයින පුරා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කරන ආකාරයට අනුව “ලංකාවේ හැම ප්‍රදේශයකටම වගේ වැසි ඇති විය හැකියි. පද්ධතියේ හැසිරීම අනුව තද වැසි බලපාන ප්‍රදේශ වෙනස් විය හැකියි,” යනුවෙනි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලට මෙන්ම දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විශේෂ බලපෑම් ඇති විය හැකි බවයි.

මේ අතර, මැයි 15 වන දාට පසු අඩු පීඩන කලාපය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

පද්ධතියේ වර්ධනයත් සමග දිවයින වටා සහ බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි අතර, මුහුද රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු බව ද දැනුම් දී ඇත.

කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පැවසුවේ, මෙම තත්ත්වය මැයි 11, 12 සහ 13 යන දිනවලදී වැඩි වශයෙන් බලපානු ඇති බවයි. ඔහු සඳහන් කළේ, ගොඩබිම් ප්‍රදේශවලට වැසි වැඩි වීමක් සහ මුහුදු ප්‍රදේශවලට සුළං තත්ත්වයේ වැඩි වීමක් ප්‍රධාන බලපෑම් ලෙස දක්නට ලැබෙන බවයි.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ප්‍රධාන ඉංජිනේරු චාමර යාපාආරච්චි සඳහන් කළේ, ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 5ක් මේ වන විටත් වාන් දමමින් පවතින බවයි.

කිරිඳි ඔය, වලවේ ගඟ, දැදුරු ඔය, මල්වතු ඔය, කැලණි ගඟ සහ කළු ගඟ ආශ්‍රිතව ජල මට්ටම් ඉහළ යමින් පවතින බැවින් ගංගා ආශ්‍රිත ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

ඉදිරි දින කිහිපයේ තද වැසි ඇති වුවහොත් කුඩා දිය පහරවල් සහ දිය ඇළි ආශ්‍රිතව ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බැවින්, එවැනි ස්ථානවල දිය නෑම සහ ජල ක්‍රීඩා කිරීමේදී ජනතාව ඉතා සැලකිලිමත් විය යුතු බව ද ඔහු පැවසීය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර පෙන්වා දුන්නේ, පසුගිය වර්ෂා සමයේ නාය යාම් සිදුවූ සහ අක්‍රීයව පැවති ප්‍රදේශ නැවත සක්‍රීය වීමේ අවදානමක් පවතින බවයි.

රත්නපුර, බදුල්ල, පස්සර, බඩල්කුඹුර සහ වැල්ලවාය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මේ වන විටත් විමසිලිමත්භාවය පිළිබඳ නිවේදන නිකුත් කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ බේරා ගැනීමේ කණ්ඩායම් ඇතුළු සියලුම අංශ සූදානම් කර ඇති බවයි.

ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ජනතාවගෙන් ඉල්ලා සිටියේ, දේපළවලට වඩා ජීවිත ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් බලධාරීන් නිකුත් කරන අනතුරු ඇඟවීම් සහ උපදෙස් පිළිපදින ලෙසයි.

එමෙන්ම, පවතින වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බැවින් අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.

Social Sharing
නවතම පුවත්