අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය අපරාධ සිදුකරමින් මෙරට රැඳිසිටි විදේශකයින් පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ!

පරිගණක හා ජංගම දුරකතන භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය අපරාධ සිදු කළ බවට සැක කෙරෙන පේරු සහ චීන ජාතිකයින් පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක නියෝග කර තිබේ.

කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකරුවන්, කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, සැකකරුවන් සතුව මෙරට රැඳී සිටීම සඳහා අවශ්‍ය වලංගු ගුවන් ගමන් බලපත්‍ර හෝ වීසා බලපත්‍ර නොතිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි.

මෙම මෙහෙයුමේදී සැකකරුවන් සතුව තිබී ඇපල් වර්ගයේ ජංගම දුරකතන 399ක්, ලැප්ටොප් පරිගණක 14ක්, ඩෙස්ක්ටොප් පරිගණක 2ක්, රුපියල් 473,870ක මුදලක් සහ තීරු බදු රහිත දුම්වැටි 600ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

අත්අඩංගුවට පත් පිරිස වයස අවුරුදු 25 සිට 37 දක්වා වන පේරු සහ චීන ජාතිකයින් බව පොලිසිය සඳහන් කළේය.

Social Sharing
නවතම පුවත්