බිළිඳෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමල මහ රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකුගේ වැඩ තහනම්!


රාජකාරි කාලසීමාව තුළ රාජකාරිය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවයේ නිරත වූ බවට එල්ල වූ චෝදනා ඇතුළු විෂමාචාර ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබේ.

පසුගිය අප්‍රේල් 09 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ වෛද්‍ය වැඩ වර්ජනය අතරතුර ත්‍රිකුණාමලය මහ රෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී බිළිඳකු මියයාමේ සිද්ධියකට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

විමර්ශන අනුව, එදින සූතිකාගාරයේ ප්‍රතිකාර ලබමින් සිටි එස්. තිලක්ෂිකා නමැති මවගේ දරු ප්‍රසූතිය සම්බන්ධයෙන් අවස්ථා හයකදී දුරකථනයෙන් දැනුම් දී තිබියදීත්, අදාළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරිය සූතිකාගාරයට පැමිණ නොමැති බව අනාවරණය වී තිබේ.

එම අවස්ථාවේදී ඔවුන් දෙදෙනා ආසන්න පෞද්ගලික රෝහලක සිසේරියන් සැත්කමක් සිදුකරමින් සිට ඇති බවත්, රාජකාරි වේලාව තුළ පෞද්ගලික සේවයේ නිරතව සිට ඇති බවත්, රාජකාරි දිනපොතේ අසත්‍ය සටහන් ද යොදා ඇති බවත් විමර්ශනයේදී තහවුරු වී ඇති බව සඳහන් වේ.

රාජකාරි කාලසීමාව තුළ පෞද්ගලික සේවයේ යෙදීම, රාජකාරිය පැහැර හැරීම සහ රෝගී මවට හා කුස තුළ සිටි බිළිඳාට අනතුරක් වීමට ඉඩ සැලසීම යන කරුණු මත මෙම විමර්ශනය සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

වැඩ තහනම් කාලය තුළ රටින් පිටව නොයන ලෙසත්, පදිංචි ලිපිනය වෙනස් වන්නේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාළ වෛද්‍යවරුන් දෙදෙනා වෙත දැනුම් දී ඇත.

Social Sharing
නවතම පුවත්