තලපති විජය, මෝදී සහ ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියේ සීමාවන්


දකුණු ඉන්දියානු ජනප්‍රිය නළු හා නව දේශපාලන නායකයකු ලෙස ඉදිරියට පැමිණෙන විජේ (තලපති විජය) ශ්‍රී ලංකාව, කච්චතිව් දූපත සහ දෙමළ ජනතාව සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ දේශපාලනික වශයෙන් විශාල අවධානයක් දිනාගෙන ඇත. විශේෂයෙන්ම තමිල්නාඩු දේශපාලනය තුළ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව පිළිබඳ ප්‍රශ්නය සදාකාලික සංවේදී මාතෘකාවක් වන බැවින්, එවැනි ප්‍රකාශ දේශපාලන ප්‍රාග්ධනයක් බවට පත්වීම අසාමාන්‍ය නොවේ. එහෙත් මෙහිදී වැදගත් ප්‍රශ්නය වන්නේ, තලපති විජයට සැබවින්ම නරේන්ද්‍ර මෝදිගේ විදේශ ප්‍රතිපත්ති රාමුවෙන් එහා යා හැකිද යන්නයි.

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යූහය අනුව විදේශ ප්‍රතිපත්තිය යනු මධ්‍යම ආණ්ඩුවේ විෂයයකි. තමිල්නාඩුව වැනි ප්‍රාන්තවලට ඒ කෙරෙහි යම් පීඩනයක්, ජනමතයක් හෝ දේශපාලන සංවේදීතාවක් ගොඩනැගිය හැකි වුවද, අවසාන තීරණ ගනු ලබන්නේ නවදිල්ලියේ බල කේන්ද්‍රය විසිනි. ඉන්දියාව වැනි විශාල රාජ්‍යයක විදේශ ප්‍රතිපත්තිය තීරණය වන්නේ චීනය, ඉන්දියානු සාගර ආරක්ෂාව, ඇමෙරිකාව සමග සබඳතා, කලාපීය බල සමතුලිතතාව සහ ආර්ථික-ආරක්ෂක අවශ්‍යතා මතය. ඒ නිසා ප්‍රාන්ත මට්ටමේ ජනප්‍රිය දේශපාලනයකට එය මුළුමනින්ම වෙනස් කළ නොහැක.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ භූමිකාව ඉතා පැහැදිලිය. 1980 දශකයේ සිට ඉන්දියාව මෙරට ජනවාර්ගික ගැටළුව තුළ සෘජුව මැදිහත්වී ඇත. 13 වන සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය පවා එහි ප්‍රතිඵලයකි. එම අර්ථයෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන ව්‍යූහයක් පවා කලාපීය බල දේශපාලනයේ ප්‍රතිඵලයක් බව කිව හැක. එදා පළාත් සභා ක්‍රමයට දැඩි විරෝධයක් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ බලවේගයක් අද ආණ්ඩුවේ සිටින විට ඉන්දියාව සමග ඉතා යථාර්තවාදී සබඳතාවක් පවත්වාගෙන යාමද, කලාපීය බල ව්‍යූහය මත ඉන්දියානු මැදිහත්වීම කෙතරම් බලවත්ද යන්න පෙන්වයි.

මෙහිදී තවත් වැදගත් කරුණක් වන්නේ “රාජ්‍යය” සහ “දේශපාලන නායකයා” අතර වෙනසයි. විපක්ෂයේ සිටින විට හෝ ජනප්‍රියත්වය ගොඩනැගීමේදී නායකයන් බොහෝ විට ජාතිකවාදී හෝ අනන්‍යතා-කේන්ද්‍රීය භාෂාවක් භාවිතා කරති. තමිල්නාඩුව තුළ කච්චතිව් දූපත, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සහ ධීවර ගැටළු යන කරුණු එවැනි ජනප්‍රියවාදී මාතෘකා වේ. තලපති විජයගේ ප්‍රකාශද ඒ සන්දර්භයෙන්ම කියවිය යුතුය. ඔහු දේශපාලනිකව තම අනන්‍යතාව දෙමළ ජාතික සංවේදීත්වය සමග බැඳීමට උත්සාහ කරන බවක් පෙනේ.

එහෙත් ශ්‍රී ලංකාවට මෙහිදී මතුකළ යුතු තවත් පැත්තක් තිබේ. උතුරු මුහුදු කලාපයේ ශ්‍රී ලාංකික ධීවරයන් දකුණු ඉන්දීය ධීවරයන්ගේ අනවසර ඇතුළුවීම්, තහනම් ආම්පන්න භාවිතය සහ පාරිසරික විනාශකාරී ධීවර ක්‍රම හේතුවෙන් දීර්ඝ කාලයක් පීඩාවට පත්ව සිටිති. විශේෂයෙන් bottom trawling වැනි ක්‍රම නිසා උතුරු මුහුදු පද්ධතියේ ජීව විවිධත්වයට සහ දේශීය ධීවර ආර්ථිකයට දැඩි හානි සිදුවී ඇත. එම ගැටළුව ශ්‍රී ලංකාව තුළ ආර්ථික, පාරිසරික සහ ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් ලෙසද මතුවේ.

ඒ නිසා තලපති විජය වැනි නව දකුණු ඉන්දීය දේශපාලන බලවේග සමග සම්බන්ධතාවක් ගොඩනැගීම ශ්‍රී ලංකාවට අවාසියක් නොව, විශේෂ අවස්ථාවක් ලෙස භාවිත කළ හැක. විශේෂයෙන් උතුරු ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටළු, සාගර සම්පත් ආරක්ෂාව සහ නීතිවිරෝධී ධීවර ක්‍රම පිළිබඳ දකුණු ඉන්දියානු සමාජය සමග සංවාදයක් ගොඩනැගීම වැදගත්ය. ශ්‍රී ලංකාව නවදිල්ලිය සමග පමණක් නොව, තමිල්නාඩුවේ සමාජ, සංස්කෘතික සහ දේශපාලන බලවේග සමගද වඩා සංවේදී හා මිත්‍රශීලී සබඳතාවක් ගොඩනගාගත යුතුය.

මන්ද, ඉන්දියාව සමග සබඳතා යනු මධ්‍යම ආණ්ඩුව සමග පමණක් පවත්වාගෙන යන රාජ්‍ය සබඳතාවක් නොව, කලාපීය සමාජ-දේශපාලන සබඳතාවක්ද වන බැවිනි. උතුරු ධීවර ගැටළුව වැනි සංවේදී ප්‍රශ්න ආරවුල් ලෙස පමණක් නොව, ද්විපාර්ශවීය සහයෝගීතාව, පාරිසරික ආරක්ෂාව සහ ජනතා සම්බන්ධතා වර්ධනය කිරීමට අවස්ථාවක් ලෙස හැරවීම ශ්‍රී ලංකාවේ දූරදර්ශී විදේශ ප්‍රතිපත්තියක කොටසක් විය යුතුය.

අවසානයේ, තලපති විජයගේ ශ්‍රී ලංකාව සම්බන්ධ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම නව විදේශ ප්‍රතිපත්ති දැක්මක් ලෙස නොව, තමිල්නාඩු ජනප්‍රිය දේශපාලනයේ කොටසක් ලෙස කියවීම වඩාත් යෝග්‍ය වේ. ඔහුට දෙමළ ජනමතය සංවිධානය කිරීමට හෝ නවදිල්ලියට යම් පීඩනයක් ඇති කිරීමට හැකි වුවද, ඉන්දියානු රාජ්‍යයේ මූලික භූ-දේශපාලනික අභිලාස වෙනස් කිරීමේ හැකියාව සීමිතය. එහෙත් ශ්‍රී ලංකාවට එම දේශපාලන ගතිකතාවන් තුළ තමන්ගේ උතුරු ධීවරයන්ගේ අයිතිවාසිකම්, සාගර සම්පත් සහ කලාපීය මිත්‍රශීලීභාවය ආරක්ෂා කරගනිමින් නව සංවාද අවකාශ ගොඩනගා ගැනීමේ හැකියාවක් පවතී.

සටහන අතුලසිරි සමරකෝන්

Social Sharing
නවතම පුවත්