මෙරට දරිද්‍රතා රේඛාව ඉහළ යයි!

 

මෙරට වෙසෙන එක් පුද්ගලයකුට වෙත සිය ආහාර සහ ආහාර නොවන මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මාසික වියදම හෙවත් දරිද්‍රතා රේඛාව මාර්තු මාසයේදී රුපියල් 16,690ක් ලෙස සටහන් වන ‌බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ අලුත්ම වාර්තාවක සටහන් වෙයි.

විශේෂයෙන්ම ජනවාරි මාසයේදී රුපියල් 16,730 ක් ලෙස යම් අගයකින් ඉහළ ගිය මෙම දරිද්‍රතා රේඛාව පෙබරවාරි මාසයේදී සැලකිය යුතු ලෙස රුපියල් 16,571 ක් දක්වා අඩුවීමෙන් අනතුරුව මාර්තුවේදී මෙලෙස යළිත් එය රුපියල් 119 කින් ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

එහිදී මූලිකවම පෙබරවාරි අගදී ආරම්භ වූ මැදපෙරදිග යුද ගැටුම් තත්වය ‌හේතුවෙන් ‌මාර්තු ‌මාසය තුළ ඇති වූ ඉන්ධන මිල ගණන් ඉහළ යාම ඇතුළු කාරණා නිසා උද්ධමනයේ සිදු වූ ඉහළ යෑම මෙම තත්වයටට හේතුව බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි දත්තවාර්තා අනුවද, ‌ පෙබරවාරියේදී සියයට 1.6 ක් ලෙස පැවැති ජාතික පාරිභෝගික මිල දර්ශකයනට අනුව උද්ධමනය මාර්තුවේදී සියයට 2.4 ක් දක්වා ඉහළ නැග තිබුණි. එහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.1 සිට සියයට 2.8ක් දක්වාත්, ආහාර නොවන උද්ධමනය සියයට 2.9ක් දක්වාත් ඉහළ නැග තිබුණි.

ජාතික දරිද්‍රතා රේඛාව දැනට ගණනය කරනු ලබන්නේ 2021 (2021=100) සංශෝධිත පාදක වර්ෂයක් සමඟ NCPI භාවිත කරන අතර, මූලික අවශ්‍යතා තීරණය කිරීමේ රාමුව 2012/13 ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණය මත රඳා පවතී.

මෙහිදී පළාත් නවයට අයත් දිස්ත්‍රික්ක අනුව ගණනය කෙරෙන දරිද්‍රතා රේඛාව අනුව මාර්තු මාසයේදී කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාව රුපියල් 18,000 ක් ලෙස සටහන්ව තිබේ. පෙබරවාරියේදී එය රුපියල් 17,872ක් විය.

එසේම දරිද්‍රතා රේඛාව ඉහළ අගයක් ගන්නා අනෙකුක් දිස්ත්‍රික්ක අතර, ගම්පහ රුපියල් 17,908 ක් ලෙසත්, නුවර එළිය රුපියල් 17,551 ක් ලෙසත්, කළුතර රුපියල් 17,520 ක් ලෙසත්, කෑගල්ල රුපියල් 17,451 ක් ලෙසත් සටහන්ව තිබේ. පෙබරවාරියේදී එම දිස්ත්‍රික්කවල දරිද්‍රතා රේඛාව පිළිවෙලින් රුපියල් 17,780ක්, රුපියල් 17,426ක්, රුපියල් 17,395 ක් සහ රුපියල් 17,327 ක් ලෙස පැවතුණි.

එසේම මන්නාරම සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ද දරිද්‍රතා රේඛාවද මාර්තු මාසයේදී පිළිවෙළින් රුපියල් 17,095ක් සහ 17,037 ක් දක්වා ඉහළ නැග තිබේ. මාර්තු මාසයේදී අඩුම දරිද්‍රතා රේඛාව ලෙස මොණරාගල දිස්ත්‍රික්කය රුපියල් 15,958 ක් සටහන් කර ඇත. එසේම කිලිනොච්චිය සහ හම්බන්තොට පිළිවෙළින් රුපියල් 16,124 ක් සහ රුපියල් 16,216 ක් බවට පත්ව තිබේ.

මේ අතර ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට අප්‍රේල් මාසයේදී මෙම දරිද්‍රතා රේඛාව තවදුරටත් ඉහළ යමින් වාර්තාගතඅගයකට පත් පත්වීමේ අවස්ථාවක් පවතී.. විශේෂයෙන්ම මහ බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවට අනුවද මාර්තු මාසයේදී සියයට 2.2 ක් ලෙස පැවැති කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී සියයට 5.4ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් සටහන් විය. එහිදී ආහාර උද්ධමනය මාර්තුවේදී පැවැති සියයට 0.7 සිට අප්‍රේල් මාසයේදී සියයට 2.8 ක් දක්වාත්, ආහාර නොවන උද්ධමනය සියයට 2.9 සිට අප්‍රේල් මාසයේදී සියයට 6.8 ක් දක්වාත් ඉහළ යාමක් වාර්තා කර තිබේ.

කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය ඇති වීමට පෙරාතුව එනම් 2019 වසරේදී මෙම ජාතික දරිද්‍රතා රේඛාව රුපියල් 6,966 ක් ලෙස සටහන්ව විය. ඒ අනුව වසර හතක් තුළදී මෙම ජාතික දරිද්‍රතා රේඛාව රුපියල් 10,000 කට අධික අගයකින් ඉහළ ගොස් තිබීමත් කැපී පෙනෙයි. එහිදී 2022 ආර්ථික අර්බුදය අවස්ථාවේදී සිදු වූ සියයට 70ක් දක්වා වූ උද්ධමනයේ ඉහළ යෑම ඊට කැපී පෙනෙන ලෙස දායක විය.

උපුටා ගැනීම ලංකාදීප

Social Sharing
නවතම පුවත්