
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව යළි විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
මෙම නඩුව මීට පෙර විභාග කර තිබුණේ නාමල් බලල්ලේ, මහේන් වීරමන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත මඩුල්ලක් ඉදිරියේය. කෙසේ වෙතත් නාමල් බලල්ලේ විනිසුරුවරයා විනය පරීක්ෂණයක් හේතුවෙන් වැඩතහනමට ලක්වීමත්, මහේන් වීරමන් විනිසුරුවරයා විශ්‍රාම යාමත් හේතුවෙන් නඩු විභාගය මාස ගණනාවක් අඩාල වී තිබුණි.
ඒ අනුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ. නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත එම නව මඩුල්ල ඉදිරියේ නඩුව ඊයේ (04) කැඳවනු ලැබීය.
මෙම නඩුව මීට පෙර කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ විභාගයට ගැනුණද, මෙවර එය විභාගයට ගැනුණේ කොළඹ විජේරාම මාවතේ පිහිටි විශේෂ අධිකරණ ස්ථානයකදීය.
නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී එය මැයි මස 08 වනදා සිට සතිපතා විභාගයට ගැනීමට නියම කර ඇති අතර, සාක්ෂිකරුවන් දෙදෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට ද නියෝග කර තිබේ.
2010 ජනවාරි 24 සිට 27 දක්වා කාලය අතරතුර ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා කරමින්, එවකට යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.
එහි විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ ගිරිතලේ කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කර්නල් ෂම්මි අර්ජුන කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 09 දෙනෙකු නම් කර ඇත.
