අත්අඩංගුවේ සිටිය දී පලායාමට උත්සහ කළ සැකකරුවෙකුට පොලිසියෙන් වෙඩි!

පොලිස් අත්අඩංගුවෙන් පලායාමට උත්සාහකළ සැකකරුවෙකුට පොලීසිය ඊයේ දිනයේ වෙඩි තැබීමක් සිදු කර ඇති බවට වාර්තා වේ. මේ අයුරින් වෙඩි වැදීමකට ලක්ව ඇත්තේ ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යමින් සිටි සැකකරුවෙකුටය.

ඒ අනුව ඊයේ දහවල් මත්ද්‍රව්‍ය සම්බන්ධව චෝදනා ලැබූ සැකකරුවන් කිහිපදෙනෙකු පොලිස් ස්ථානය තුළ තිබූ ජීප් රථයට නංවාලීමට ගිය අවස්ථාවේ, ඉන් එකට මාංචු දමා තිබූ පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස පලා යෑමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබේ.

වාර්තාවන අන්දමට සැකකරුවන් පොලිස් ස්ථානයේ ගේට්ටුවේ සිට මීටර් 75ක දුරක් දුවගොස් පලායාමට උත්සාහ කර තිබේ.

එහිදී පොලීසිය විසින් එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් එක් සැකකරුවෙකුගේ දණහිසෙන් පහළ කොටසට වෙඩිවැදී ඇති අතර, ඔහුව ගල්ගමුව මූලික රෝහලට ඇතුළත්කර පසුව කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

මෙලෙස පලායාමට උත්සාහ කිරීමේදී වෙඩි වැදී ඇත්තේ ගෝජරාගම, ගල්ගමුව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 32ක් වූ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු බව වාර්තා වේ.

 

Social Sharing
නවතම පුවත්