
ලොව පුරා කම්කරු ජනතාව තමන්ගේ ශ්රමයට සරිලන ගෞරවය සහ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කර දිනාගත් ජයග්‍රහණ සැමරෙන 137 වන ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. 1886 වසරේ චිකාගෝ නුවර කම්කරුවන් පැය අටක වැඩ මුරයක් ඉල්ලා කළ කැපකිරීම් සමස්ත මානව වර්ගයාගේම යහපත උදෙසා වූ සන්ධිස්ථානයකි.
ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ ආර්ථික වටපිටාව තුළ, කම්කරු අයිතිවාසිකම් යනු හුදෙක් සේවා කොන්දේසි මාලාවක් පමණක් නොව, එය මූලික මානව හිමිකම් හා බැඳුණු කරුණක් බව අප අවධාරණය කළ යුතුය. විශේෂයෙන්ම දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අප මධ්‍යස්ථානයට, සේවා ස්ථානයන් හී සිදුවන හිංසනයන්, අත්තනෝමතික ලෙස සේවයෙන් ඉවත් කිරීම් සහ නෛතික රැකවරණය අහිමි වීම් තවමත් වාර්තා වෙමින් පවතී.
කම්කරු නීතිය සහ මානව හිමිකම් යනු එකම කාසියක දෙපැත්තකි. සාධාරණ වේතනයක් ලැබීමේ අයිතිය, වෘත්තීය සමිති නිදහස සහ සේවා ස්ථානයේ ගෞරවය රැකගැනීම වෙනුවෙන් සෑම පුරවැසියෙකුම දැනුවත් විය යුතුය. ඕනෑම අයිතිවාසිකම් උල්ලංඝනය වීමකදී නීතියේ සහාය පැතීමට ඇති අයිතිය අප ආයතනය සැමවිටම අගය කරයි.
මෙම මැයි දිනයේදී අපගේ අරමුණ විය යුත්තේ, හුදෙක් උත්සව පැවැත්වීම නොව, වැඩ කරන ජනතාවගේ මානුෂීය ගෞරවය සහ නෛතික සුරක්ෂිතභාවය තහවුරු කරන සමාජ වටපිටාවක් ගොඩනැගීමයි.
තරංග එල්. පටබැදි
සම්බන්ධිකාරක,
හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය,
අම්බලන්තොට.
