සයිබර් හැකර් ප්‍රහාරයකින් මහා භාණ්ඩාගාරයේ මුදල් සොරකමක්!

 

සයිබර් හැකර්වරුන් විසින් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී විදේශ මුදල් ගෙවීමක් සම්බන්ධ සොරකමක් සිදුකර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, 2026 ජනවාරි මාසයේදී විදේශ මුදල් ප්‍රමාණයක් ගෙවීමක් සම්බන්ධයෙන් සැකසහගත තොරතුරු හඳුනාගැනීමත් සමඟම අදාළ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.

ඒ අනුව, සිද්ධිය පිළිබඳව

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL-CERT)
ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)
මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) වැනි ආයතන වෙත පැමිණිලි කර විමර්ශන ආරම්භ කර ඇති බවද සඳහන් වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර මූලික පරීක්ෂණයක් ද සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵල අනුව නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

තවද, සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත අවශ්‍ය සියලු තොරතුරු ලබාදීමට කටයුතු කර ඇති අතර, දැනට විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බැවින්, එම කටයුතු වලට බාධාවක් නොවන අයුරින් සුදුසු අවස්ථාවක යාවත්කාලීන තොරතුරු ප්‍රකාශ කිරීමට නියමිත බවද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සහ විදේශීය රාජ්‍යයන් අතර පවතින ගිවිසුම්වලට අනුකූලව, අවශ්‍ය සම්බන්ධීකරණ සහ ඉදිරි ක්‍රියාමාර්ග සිදුකෙරෙන බවද මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.

Social Sharing
ආර්ථික නවතම පුවත්