
2017 අප්‍රේල් 14 දින, මුලු දිවයිනම අලුත් අවුරුදු උත්සවයේ උණුසුම විඳින මොහොතේ, මීතොටමුල්ලේ ජනතාවට එය මරණීය ඛේදවාචයක් වීමට ගත වූයේ නිමේෂයක් පමණි. මිනිසුන්ට ඉවත්ව යාමට එකදු මොහොතක්වත් ඉතිරි නොකරමින් එක් කුණු කන්දක් නිවෙස් මතට කඩා වැටී ජීවිත 40ක්ම කුණු සෑයක් යට නිදන් විය. මිනිසුන් ස්වභාවධර්මය විසින් සිදු කළ මේ විප්පත්තියට දෙස් දෙවොල් තිබ්බද මෙය ස්වභාවධර්මයෙහි සාහසික බවක් නොව දිගු කාලයක් තිස්සේ රාජ්‍ය ආයතනයන්හි නොසලකා හැරීම් දාමයෙහි සාහසික බව නිසා සිදු වූවක් බව නොරහසකි.
පාදක වූ සිද්ධි දාමය
2009 වසරේදී බ්ලූමැන්ඩල් මාවතේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුවට “තාවකාලික විසඳුමක්” ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීතොටමුල්ලට අයත් පොතුවිල් කුඹුර පරිශ්‍රයේ අක්කර 02ක, අපද්‍රව්‍ය බැහැර කිරීමට අවසර ලබා දුනි. නමුත් තාවකාලික යන්නෙහි වෙනස වටහා නොගත් කොළඹ මහ නගර සභාව 2009 සිට 2017 දක්වා වස 08ක් පුරාවටම අක්කර 18ක භූමි ප්‍රමාණයක් ඉක්මවා යමින් මීතොටමුල්ලෙහි කුණු බැහැර කිරීම අඛණ්ව සිදුකරගෙන යන ලදී. මෙහි බරපතළම කාරණය වූයේ කුණු ලොරි මඟින් අපද්‍රව්‍ය ගෙන ගොස් බැහැර කිරීමේ දී එය විශාල කන්දක ස්වරූපයට සමාන වන ලෙස ගොඩගසන අතර ඒවායේ උස, තට්ටු කිහිපයක ගොඬනැගිල්ලක උසට සමාන වීමයි. මීට අමතරව මෙම ප්‍රදේශයේ 20,000ට ආසන්න පවුල් ප්‍රමාණයක් ජීවත් වූ අතර, දුර්ගන්ධය, පානීය ජලය අපවිත්‍ර වීම වැනි හේතු නිසාවෙන් ඔවුන් නිරන්තරයෙන් ලෙඩ රෝග වලට භාජනය විය. මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් 2015 වසරේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගෙන ගිය අතර නඩු විභාගයටත් පෙරම 2017 වසරේ ඉහත කී ඛේදවාචකය සිදු විය. එනම් සිංහල දමිළ අලුත් අවුරුදු සිරි විසුරුවා හරිමින් පුද්ගලයන් 40 දෙනෙක් මීතොටමුල්ලේ ගොඩ ගැසූ කුණු කන්දක් යට පණපිටින් නිදන් විය.

2015 ආරම්භ කළ මූලික අයිතිවාකම් නඩුව තව දුරටත් ගෙන යමින් පෙත්සම්කරුවන් ප්‍රකාශ කරේ මේ සිදුවීමේ දී කොළඹ මහ නගර සභාව, නගරසභා ආඥා පනතෙහි ප්‍රතිපාදන මෙන්ම ජාතික පරිසර පනතෙහි විධි විධාන උල්ලංඝනය කොට ඇති බවත් එය හුදෙක්ම මහනගර සභාවේ පැහැර හැරීමක් පමණක් නොව මධ්‍යම පරිසර අධිකාරියේද වගකීම් පැහැර හැරීමක් බවයි.
මෙහි සංවේදීම කාරණය නම් මෙම අනතුර මිනිසුන් කල්තියා නිරන්තරයෙන්ම දැනුම් දී තිබීම සහ, ඒවා ඉදිරියේ අධිකාරීන් සියල්ලම මුනිවත රැක තිබීමයි
කොළඹ මහනගර සභාව තම මූලික පරමාර්ථය “කුණු එකතු කිරීම” බව දක්වා සිටියද ඔවුන්ට අමතක වී ගිය කාරණය වන්නෙ ඔවුන් ඒවා ආරක්ෂිත ලෙස බැහැර කිරීමේ වගකීමද දැරිය යුතු බවයි. එය විධිමත් මෙන්ම තිරසාර ලෙස සිදුවීම නගර පාලනයේ තිබිය යුතු අත්‍යවශ්‍යම අංගයක් බව සැමටම අමතක වීම කණගාටුවට කරුණකි.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් හෙළිවුණේ, මෙය එක් ආයතනයක වගකීම් පැහැර හැරීමක් පමණක් නොව, ආයතන කිහිපයක්ම තම තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු නොකිරීමෙන් ඇති වූ ප්‍රතිඵලයක් බවයි. අපද්‍රව්‍ය එක් රැස් කිරීමේ සිට, එය පාලනය කිරීම, පරිසර බලපෑම් පරීක්ෂා කිරීම, සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම දක්වා සෑම පියවරකම සියලුම අංශයන්හි තිබූ හුදු නොසැලකිල්ල නිසා මේ විපතට පදනම් වීම ඉතාමත් කණගාටුවට කරුණක් විය.
තවත් වැගත් කරුණක් වන්නේ, අනතුර සිදුවූ පසු පමණක් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීමයි. පාසල් විශය නිර්දේශනයන්හී උගන්වන පූර්ව ආපදා කළමනාකරණය කොතරම් දුරට ප්‍රායෝගික ද යන්න රාජ්‍ය අධිකාරීන් මහජනයාට අගනා ලෙස විදහා පාන්නට සමත් වූ අවස්ථාවක් ලෙස මීතොටමුල්ල ව්‍යසනය සඳහන් කළ යුතුමය.
මීතොටමුල්ල අපට කියා දෙන පාඩම ඉතාමත් සරලය. අපද්‍රව්‍ය යනු බැහැර කිරීමට ඇති දෙයක් පමණක් නොව කළමනාකරණය කළ යුත්තක් බවයි. මීතොටමුල්ලේ කතාව අදටත් අවසන් නැත. එය තාවකාලික විසදුම් ස්ථීර විසඳුම් කරගැනීමේ ප්‍රතිඵල යළි යළිත් මතක් කරන රතු පැල්ලමක් ලෙස ඉතිහාසයේ සටහන් වන බව නොඅනුමානය.
