
මංගල ගැන චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ සිතුවිල්ල දැන් කාලයක පටන් හිත ඇතුලෙ පොරබදනවා. ඒත් මං චිත්‍රපටිය කරන්නෙ මොන මංගල ගැනද? මංගල කියන්නෙම එක්කෙනෙක් නෙමෙයි. මංගලගෙ දේශපාලනය, මංගලගෙ කලාව, මංගලගෙ ලිංගිකත්වය, මංගලගේ මිතුරු ඇසුර.. මේ ආදී එක එක තැන්වල එක එක විදිහට මංගලව මුනගැහෙනවා. මංගල යනු මේය කියල මට කියන්න පුළුවන් තැන කොතනද?
මට මංගලව සමීප වෙන්නෙ 2015න් පස්සෙ. පක්ෂ දේශපාලනය කියන එක වෙනුවට සමාජ දේශපාලනය ඉස්සර කරගත යුතුයි කියල මංගල සංස්කෘතික කැරැල්ලකට ලෑස්ති වෙන දවස්වල. ඒ තමයි රැඩිකල් සෙන්ටර් ආරම්භය. විකල්ප සංස්කෘතික මානවයෙක් නිර්මාණය කරන්නේ කෙසේද? ඒක තමයි අපි ඉස්සරහ තිබුනු ප්‍රශ්නය.
ඇත්තටම මංගලගේ කේන්ද්‍රීය ලක්ෂණය කියල මං හිතන්නෙ ඒක. විකල්ප සංස්කෘතිය. ප්‍රධාන ධාරාවේ දේශපාලනය තුල පවා මංගල සළකුණු කරපු තැන. ඒ තමයි විකල්ප ජීවිතය. විකල්ප සිතීම. විකල්ප කලාව. මගේ ජීවිතය මේ විදිහට නිර්මාණය වෙන්නත් මං නොදැනුවත්වම ඇසුරු කළ මංගල විසින් නිර්මාණය කළ විකල්පයන් හේතු වුනු බව නිසැකයි. 90 දශකයේ මංගලගේ අනුග්‍රහයෙන් තැනුනු විකල්ප විශ්වය මගේ සංස්කෘතික අවකාශය කඩා බිඳ දමා යළි සකස් කළා කියන්න පුළුවන්. ඒ නාඳුනන මුනගැහීම සිද්ද වුනේ මාතොටේදී. ඒ තොටමුනේ අපි බොහෝ දෙනෙක් එකිනෙකා සම්මුඛ වුනා.
‘මගේ ජීවිතය වෙනස් කරපු මනුස්සයෙක් තමයි මංගල. මංගල තමයි මට ඩේවිඩ් බෝවි අඳුන්නලා දෙන්නෙ. එයා තමයි මට ඇන්ඩි වාර්හෝල් ගැන කියන්නෙ’ – බූඩි කීර්තිසේන
මංගලගෙ විකල්ප ජීවිතය බොහෝ ඉසව්වල දිගහැරුනා. ලංකාවට එන්න පමා වුනු බොහෝ සංස්කෘතික කලාපයන් මංගල විකල්පය ඇතුලෙ රට ඇතුලට කාන්දු වුනා. නිර්මාණකරුවන්ට, දේශපාලකයන්ට, සමාජ ක්‍රියාකාරීන්ට එන්නත් වුනා. මංගලව නොදන්නා අය පවා මංගලගේ විකල්පකරණයෙන් ආසාදනය වුනා.
මං හිතන්නෙම මංගල කියන්නෙ ව්‍යාපෘතියක්. එක්තරා විදිහකට ලංකාවෙ පශ්චාත් නූතන දාර්ශනික න්‍යායන් වචන කරපු බොහෝ අය හිටියත් පශ්චාත් නූතන සංස්කෘතික අවකාශය බිහිවුනේ මංගලගෙ ජීවිතය ඇතුලෙන්. ඒක ජීවිතය, දේශපාලනය, කලාව සහ ලිංගිකත්වය එකට ගත් කැරැල්ලක් වුනා. දේශපාලකයෙක් විදිහට ස්ථානගත වුනත් මංගල කරමින් හිටියෙ සංස්කෘතික අරගලයක්.
ශෘංගාරය ගැන ජීවිතයට තදින් කා වැදුනු දැනීමක් මංගලට තිබුනා. කෑම, බීම, වාසය කිරීම, ඇසුරු කිරීම, කලා රස විඳීම, රමණය ආදී මේ සියල් විසල් කලාපවල විහිදුනු ජීවිතයක පොහොසත්බවෙන් තමයි මංගල ලෝකය දිහා බැලුවෙ. ඒක කොයි වෙලාවකවත් හිගකමෙන් පීඩා විඳින ලෝකයක් වුනේ නෑ. ඒක අතිරික්තයෙන් උතුරා යන ලෝකයක් වුනා. තමන් ජීවිතය තුල විඳින සෞන්දර්යය අන් අයටත් විඳිය හැකි නිදහස්, විවෘත සමාජයක් නිර්මාණය කිරීම් එයාගෙ ව්‍යායාමය වුනා.
මංගල කියන්නෙ කවුද? මං චිත්‍රපටියට පාදක කරගන්නෙ කුමන මංගලවද? මට හිතෙන්නෙ එතනදි ප්‍රධානම අභියෝගය වෙන්නෙ මංගල කියන විකල්ප ජීවිතය රූපයට නගන්නෙ කොහොමද කියන එකයි.
විස්කි වීදුරුවක් එක්ක, හවානා සුරුට්ටුවක් බොමින්, ඩේවිඩ් බෝවිගේ සිංදුවක් අහමින්, ඇන්ඩි වාර්හෝල්ගෙ සිතුවමක් දිහා බලාගෙන, ලාංකේය සමාජයේ රැඩිකල් වෙනසක් ගැන හිතන මිනිහෙක් ගැන මං ලියන්න පටන්ගන්නෙ කොතනින්ද?
මංගල කියන්නෙ විකල්පයක් නම් ඒ විකල්පය ග්‍රහණය කළ හැකි විකල්ප සිනමාව මොකක්ද? මම තාම කල්පනා කරනවා.
මංගලගේ 70 වන උපන්දිනය වෙනුවෙන් මම මංගලව බදා වැළඳගෙන සුබ පැතුවා.
සුබ උපන්දිනයක් මංගල. දැන නොදැන දුන් හැම දෙයක් වෙනුවෙන්ම බොහොමත්ම ස්තුතියි.
