බන්ධනාගාරයේ රැදවියන්ගේ විරෝධය දිගටම

කොවිඩ් ආසාධිතය සිරකරුවන් ගේ සමීපතමයින්  නිරෝධයනය කිරීම සදහා අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයට රැගෙන ඒමට සුදානමක් ඇතැයි පවසමින් අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් විසින් ආරම්භ කළ විරෝධතාවය අද (24) දහවල් වෙන තුරුත් පැවැත්විණි.

මේ වන විට රැදවියන් 15 දෙනෙකු A සිරමැදිරියේ හා c සිරමැදිරියේ වහලවල් මතට නැඟ සිටින බව බන්ධනාගාර තොරතුරුවලින් කියැවේ.

ඊයේ දිනයේදී අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ආහාර වර්ජනයක යෙදී සිට ඇති අතර පසුව බන්ධනාගාර නිළධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් ආහාර ලබා ගත් බව පැවසේ.ඉන් අනතුරුව ඊයේ සවස 05 ට පමණ රැදවියන් පිරිසක් සිර මැදිරි වල වහලවල් මතට නැඟ විරෝධය පළ කරමින් තිබේ.

කොවිඩ් ආසාධිත සිරකරුවන් අගුණකොළපෑලැස්ස බන්ධානාගාරය තුළට ගෙන ඒමේ සූදානමක් ඇති බවත් ඊට විරෝධය පළ කරමින් සිරකරුවන් විසින් මෙම විරෝධය ආරම්භ කළ බවත් බන්ධනාගාර තොරතුරු වලින් පැවසේ.

ඊයේ රත්‍රී කාලයේ සිට අගුණකොළපෑලැස්ස බන්ධනාගාරය අවට අමතර පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබේ.

චන්ද්‍රසේන ගමගේ (ඡායාරූප- විරෝධයට එක්ව සිටින රැදවියන් පිරිසක්)

Social Sharing
නවතම