රාජවික්‍රමට රාජ්‍ය නොසැලකිල්ල නිසා අසාධාරණයක්.

එල්.වී.ඩී.ආර්.එස්. රාජවික්‍රම මහතා වයඹ පළාත් රාජ්‍ය සේවයේ අවුරුදු 25 ක් කටයුතු කර ඇති අයෙකි. ඔහු පවසන පරිදි වයඹ පළාත් රාජ්‍ය සේවයේ විවිධ මට්ටමේ නිලධාරින්ගේ නොසැලකිල්ලට ඔහු නිරන්තරව ලක්ව ඇත. එම තත්ත්වයන් නිවැරැදි කර ගැනීමට ගන්නා ලද සියලු උත්සාහයන් ඔහු විශ්‍රාම යනතුරුම සාර්ථකවී නැත.

විශ්‍රාම ගියද ඔහුගේ විශ්‍රාම වැටුපට ඔහු සේවය කල අවදියේ සිදුවූ අසාධාරණයන් නිසා විශාල බලපෑමක් වී තිබේ. එම නිසා විශ්‍රාම යාමෙන් පසුවද සිදුව ඇති අසාධාරණය වෙනුවෙන් ඔහුට කාර්යාලවල රස්තියාදු වීමටත් විවිධ නිලධාරින් වෙත ලිපි සැපයීමටත් කාලය හා ශ්‍රමය යෙදවීමට සිදුව ඇත.

1989.12.27 දින සිට මධ්‍යම මට්ටමේ කාර්මික නිලධාරි සේවාවේ 111 පන්තියේ කාර්මික නිලධාරීයෙකු ලෙස පත්වන රාජවික්‍රම මහතා අවුරුදු 25 කට පසුව එනම් 2014.01.04 දින විශ්‍රාම ලබන්නේද පත්වීම ලද ශ්‍රේණියේම නිලධාරියෙකු ලෙසය. කෙසේ වුවද විශ්‍රාම යාමෙන් අවුරුදු දෙකයි මාස අටකට පසුව ඔහුට 11 පංතියේ කාර්මික නිලධාරි තනතුරට උසසවීමක් ලැබී ඇත.

එල්.වී.ඩී.ආර්.එස්. රාජවික්‍රම මහතා

වයඹ පලාත් පාලන කොමසාරිස් විසින් චෝදනා කෙටුම්පතක් ඉදිරිපත් කිරීම යන කාරණය මත ඔහුට වැටුප් වර්ධක ලබාදීම හා උසස්වීම් සඳහා අයදුම් කිරීම වලකා ඇති අතර පුදුමය දනවන කාරණය වන්නේ ඔහු විශ්‍රාම යනතුරුම ඒ සම්බන්ධ විමර්ශනයක් සිදුකිරීමක් සිදුව නැතිවීම වේ.

ඊට අමතරව ඔහුට තවත් චෝදනාවක් ඉදිරිපත් කර තිබූ අතර විමර්ශනයකින් පසුව ඔහුව එයින් පූර්ණ ලෙස නිදහස් කර තිබේ.

නිසිකලට වැටුප් වර්ධක නොලැබීම හා උසස්වීම් සඳහා ඉදිරිපත්වීමට තිබූ ඉඩ ඇසිරීම නිසා බලවත් පීඩාවකට පත්ව සිටින රාජවික්‍රම මහතා කුරුණෑගල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සහාය පැතීම හරහා පසුගියදා දිවුරුම් ප්‍රකාශයක් සමගින් ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත තම දුක්ගැනවිල්ල ඉදිරිපත්කර ඇත.

සටහන – ඥානවීර දිසානායක (කුරුණෑගල – 0768 182 358)

Social Sharing
අවකාශය නවතම