
පසුගිය (2025) වසර ඇතුළත ලංකාවට සංචාරකයින් 2,362,521 දෙනෙකු පැමිණ තිබෙනවා. මෙය වසරක් තුළ ලංකාවට පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණයයි. මීට පෙර ලංකාවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි 2018 වසරට සාපේක්ෂව 1.2%ක වර්ධනයක් දකින්න තිබෙනවා. ඒ වගේම, පසුගිය වසරට සාපේක්ෂව 15.1%ක වර්ධනයක් දැකිය හැකියි.
වසරේ පළමු මාස දහය ඇතුළත රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණයේ, පෙර වසරට සාපේක්ෂව, 16.7%ක වර්ධනයක් තිබෙනවා. අවසන් මාස දෙකේ එම වර්ධනය 9.0%ක් පමණයි. අවසන් මාස දෙකේ වර්ධනයද 16.7%ක් වුනානම් සංචාරකයින් ගණන තවත් 33,000කින් පමණ ඉහළ යනවා. එම අඩුව, සුළි කුණාටුවේ බලපෑම ලෙස සලකන්න පුළුවන්.
සුළි කුණාටුව නිසා වැඩිම බලපෑමක් සිදු වුනේ කෘෂිකාර්මික නිෂ්පාදිතයට සහ සංචාරක කර්මාන්තයටයි. නමුත් මේ බලපෑමෙන් පසුවද, හතරවන කාර්තුව තුළ පැමිණි සංචාරකයින් ප්‍රමාණයේ, පෙර වසරේ එම කාර්තුවට සාපේක්ෂව, 12.0%ක වර්ධනයක් දකින්න පුළුවන්. මේ අනුව, හතර වන කාර්තුව තුළ දළ දේශීය නිෂ්පාදිතයට සංචාරක කර්මාන්තයෙන් ලැබිය හැකිව තිබුණු දායකත්වය විශාල ලෙස අඩු වී ඇති බවක් පෙනෙන්න නැහැ.
කෘෂිකාර්මික නිෂ්පාදිතය පිළිබඳ සෘජු දත්ත නැතත්, වෙළඳපොළ මිල ගණන් දෙස බලා සිදු වූ හානිය ගැන වක්‍ර අදහසක් ගන්න පුළුවන්. දෙසැම්බර් මාසය තුළ එළවලු ආදියේ මිල ගණන් ඉහළ යාමෙහි පෙර වසරට සාපේක්ෂව විශාල වෙනසක් නැහැ. ඒ අනුව පෙනෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදිතය තුළින් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වයේ වුවද ඒ තරම් විශාල අඩුවක් සිදු වී නොමැති බවයි.
මූල්‍ය අරමුදල විසින් පුරෝකථන සකස් කර තිබෙන්නේ හතරවන කාර්තුවේ වර්ධන වේගය 2% පමණ මට්ටමකට පහත වැටෙනු ඇතැයි උපකල්පනය කරලා. එහෙත් ඉහත නිරීක්ෂණ අනුව පෙනෙන්නේ හතරවන කාර්තුව තුළද 4% ඉක්මවන වර්ධනයක් වාර්තා වීමේ විභවයක් ඇති බවයි. එසේ වුවහොත් මෙම වසරේ ආර්ථික වර්ධනයද 5%කට ආසන්න මට්ටමකට එන්න පුළුවන්.
සුළි කුණාටුවේ බලපෑම බොහෝ දුරට ක්ෂණික බලපෑමක්. එයින් මේ වසරේ හතර වන කාර්තුවට විශාල බලපෑමක් සිදු වී නැත්නම්, ඉදිරි වසරේ දකින්නට ලැබෙනු ඇත්තේද ඒ තරම් විශාල නොවන බලපෑමක්. ඒ බලපෑම ඉදිකිරීම් ආදිය ඉහළ යාම නිසා පහසුවෙන්ම නිශේධනය වී යන්න පුළුවන්.
වසරක් තුළ රටට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය මේ වසරේදී වාර්තා වී ඇතත්, එම ප්‍රමාණය වසර මුල සකස් කර තිබෙන ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින්ම අඩුයි. ඒ අඩුවට හේතුවනම් සුළි කුණාටුව නෙමෙයි. ඇස්තමේන්තු ඕනෑවට වඩා ඉහළ මට්ටමක තිබීම කියා කියන්නත් පුළුවන්. පසුගිය වසර සඳහා සකස් කළ ඇස්තමේන්තු ඉදිරි වසර සඳහානම් නරක ඉලක්ක නෙමෙයි.

