
මංගල උත්සවයකට සහභාගී වූ පොලිස් නිලධාරියෙකුට ගන්දර පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් විසින් පහර දී ඔහුව බන්ධනාගාරගත කිරීමේ සිද්ධියක් වාර්තා වන අතර මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ අධිවේගී මාර්ග කොට්ඨාශයේ, අගුණුකොළපැලැස්ස අනු පාලක ස්ථාන ඒකකයට අනුයුක්තව රාජකාරියේ නියෙළුණු පොලිස් සැරයන් පී.ඩී. උපුල් තුෂාර යන අයවේ.
ඒ අනුව ඉකුත් දෙසැම්බර් මස අට වන දා පරවාහැර, දූමිදූ උත්සව ශාලාවේ පැවැති මංගල උත්සවයකට මනමාල මහතාගේ පාර්ශවයෙන් ලද ඇරයුමකට අනුව පී.ඩී උපුල් තුෂාර යන අය සහභාගි වී ඇති අතර උත්සව අවස්ථාවේ දී දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇත. එය ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබේ. එහිදී ගන්දර පොලිසියට ලද තොරතුරකට අනුව ගන්දර පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලදාරීන් කණ්ඩායමක් එකී උත්සව ශාලාව වෙත ගොස් කිසිදූ කරුණු කාරණාවක් නොවිමසා, එහි සිටි උත්සවයට සහභාගි වී සිටි උපුල් තුෂාර යන අයට ඉතාමත් අමානුෂික අන්දමින් ප්‍රසිද්ධියේ පහර දී ඇත. එම පහර දෙන අවස්ථාවේ මොහු මෙම සිද්ධියට සම්බන්ධ නොවන බවත්, ඔහු පොලිස් සැරයන්වරයකු බවද අදාල පොලිස් නිලධාරින් වෙත ප්‍රකාශ කිරීමෙන් අනුතුරුව පහරදීම නතරකර ඇතත් උපුල් තුෂාර යන අයව අත හැරියොත් ඔවුන්ට ගැටළුවක් වන බව ප්‍රකාශ කරමින් පොලිස් සැරයන් උපුල් තුෂාර සහ ඒ අවට සිටි තවත් පුද්ගලයන් දෙදෙනකුව අත්අඩංගුවට රැගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවට වාර්තා වේ. ඔවුන්ව පොලිස් ස්ථානයට රැගෙන යන අවස්ථාවේ පහරකෑමට ලක් වූ පාර්ශවය විසින් මොවුන් තිදෙනා මෙම පහරදීමට සම්බන්ධ නොවන බව ප්‍රකාශ කලත් ඒ පිලිබදව ගන්දර පොලිස් ස්ථානාධිපතිතුමා අවධානය කිරීමකින් තොරව මොවුන් තිදෙනා ගන්දර පොලිස් ස්තානය වෙත රැගෙන ගොස් ඇත.
ඒ අනුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් ඉකුත් දෙසැම්බර් දහසයවන දා දක්වා මොවුන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ඇති අතර ඉන් අනතුරුව ඉකුත් දහසයවන දා අධිකරණයේ නඩුව කැදවූ අවස්ථාවේ දී අගතියට පත් වූ පාර්ශවය විසින් නීතීඥයකු මගින් කියා සිටියේ මෙම තිදෙනාගෙන් කිසිවකු මෙම පහරදීමට සම්බන්ධ නොවන බවත්, සිද්ධිය වූ දින ද ගන්දර පොලිස් ස්තානාධිපතිට ඒ බැව් ප්‍රකාශ කළ බව කියා සිටි අතර, අධිකරණය විසින් මොවුන්ට ඇප නියම කර මෙය සමථ මණ්ඩලය වෙත යොමු කර තිබේ. ඉකුත් 27 දින දෙපාර්ශවය සමථ මණ්ඩලය වෙත ඉදිරිපත්ව ගැටළුව නිරාකරනය කරගත් බව වැඩ තහනමට ලක් වූ පොලිස් සැරයන් පී.ඩී. උපුල් තුෂාර යන අය සඳහන් කර තිබේ.
ගන්දර පොලිසියේ ස්ථානාධිපති විසින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සදහා ගරු පොලිස්පතිතුමා, මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව ඇතුළු වගකිවයුතු ආයතන වෙත පැමිනිලි කරන බව ඒ මහතා අප සමග වැඩිදූරටත් කියා සිටීහ.
අසත්‍ය චෝදනා මත පොලිස් අත්ඩංගුවට ගෙන නඩු පවරන සිද්ධින් මින් ඉදිරියට නොවිය යුතු බව පසුගියදා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී ඇතත් එහි අඩුවක් මෙතෙක් දක්නට නොලැබෙන බව අපට ලැබෙන තොරතුරු වලින් මනා ලෙස පැහැදිලි වේ. එබැවින් මෙම සිද්ධිය පිළිබදව පොලිස්පතිතුමා කෙසේ අවධානය යොමු කරන්නේද යන්න අපි අවධානයෙන් පසු වෙන්නෙමු.
සටහන – තරංග එල් පටබැදි
