
අභියෝග රැසක් මැද 2025 වසර ගෙවා දැමූ රජය 2026 වසරට පා තබන්නේ, තවත් අභියෝග රැසකට මුහුණ දෙමිනි. ඒ රටේ ඉදිරි පැවැත්ම මෙන් ම, රජයේ පැවැත්ම ද ඔවුන් එම අභියෝගවලට මුහුණ දෙන ආකාරය මත රඳා පවතිනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
විශ්ලේෂකයින්ගේ මතයන් අනුව වත්මන් රජය 2026 වසරේදී මුහුණ දෙන අභියෝග පිළිබඳ මෙම ලිපියෙන් විග්රහ කරන අතර ඒ අනුව රජය මුහුණ දීමට නියමිත අභියෝග ආර්ථික, දේශපාලනික සහ සමාජයීය වශයෙන් වර්ගීකරණය කර ඇත.
ආර්ථික අභියෝග වශයෙන් ඔවුන් පෙන්වා දෙන ආකාරයට,
1. ‘ආර්ථික වර්ධනය 7%ක් කර ගැනීමට නොහැකි වීම
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වූ මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දුන්නේ, ආණ්ඩුව අපේක්ෂා කළ පරිදි ආර්ථික වර්ධනයක් 2026 වසරේදී සිදු නොවනු ඇති බව ය. තවද ඔහුගේ අදහස අනුව, ආණ්ඩුව මුහුණ දෙන පළමු ආර්ථික අභියෝගය එය යි. තවද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ, දිට්වා සුළි කුණාටුව ඇති වීමට පෙර ඉදිරිපත් කළ අයවැය වෙනසක් නොකර සම්මත කර ගැනීම හරහා රජයට 2026 වසරේ ආර්ථික අභියෝග රැසකට මුහුණ පෑමට සිදුවන බව ය.
2. 2027 වසරේ ණය ආපසු ගෙවීමේ අභියෝගය
ඒ අනුව දෙවන ආර්ථික අභියෝගය වශයෙන් රජයට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන අභියෝගයක් වන්නේ, 2027 වසරේදී ණය ආපසු ගෙවීමට සිදු වීමයි.
දේශපාලන අභියෝග වශයෙන් මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දෙන්නේ, 2026 වසර ජාතික ජන බලවේග ආණ්ඩුවට දේශපාලනික වශයෙන් අතිශයින් අභියෝගාත්මක වසරක් බව යි.
3. විපක්ෂයේ විරෝධතාවලට මුහුණ දීම
ඒ අනුව තෙවන අභියෝගය වශයෙන් මෙම වසරේදී ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ ක්‍රියාකාරීත්වය උත්සන්න වනු ඇති බව ය.
4. ආණ්ඩුව සහ ජනමාධ්‍ය අතර ගැටුම
මේ අතර, ආණ්ඩුව සහ ජනමාධ්‍ය අතර ගොඩනැගෙන ගැටුම්කාරී තත්ත්වය ද ආණ්ඩුවට විශාල අභියෝගයක් වනු ඇතැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දී අතර කෙසේ වෙතත්, මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා වත්මන් රජය නව වසරේ මුහුණ දෙන අභියෝග පිළිබඳව පැහැදිලි කළේ, වෙනස් ආකාරයකට ය.
5. පළාත් පාලන ආයතන, සමූපකාර, පළාත් සභාවල බලය තහවුරු කර ගැනීම
මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පෙන්වා දෙන්නේ, පළාත් පාලන ආයතන, සමූපකාර සහ පළාත් සභාවල බලය තහවුරු කර ගැනීම ආණ්ඩුව මුහුණ දෙන තවත් දේශපාලනික අභියෝගයක් බවයි. මේ අතර, පළාත් සභා මැතිවරණය ජය ගැනීම ද වත්මන් ආණ්ඩුව මුහුණ දෙන තවත් දේශපාලනික අභියෝගයක් බව මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සඳහන් කර සිටියි.
6. ජනතාව අපේක්ෂා කළ සාධාරණ යහපාලනය පවත්වාගෙන යාම අභියෝගයක්
ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ජනතාව ඔවුන්ගේ රජයක් යටතේ සාධාරණ සහ යහපාලන පරිසරයක් බලාපොරොත්තු වූ බව මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසයි. කෙසේ වෙතත්, ඇතැම් දේශපාලනඥයින්ගේ ක්‍රියාකලාපයන් මගින් පැරණි දේශපාලන සංස්කෘතිය නැවත හිස ඔසවන පරිසරයක් මතුව ඇති අතර, එය නිවැරදි කර ගැනීම ආණ්ඩුව මුහුණ දෙන තවත් අභියෝගයක් වනු ඇති බව ඔහුගේ අදහස යි.
7. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ ව්‍යවස්ථාමය වෙනස්කම් සිදු කිරීම
මේ අතර, ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම ද රජය මුහුණ දෙන දැවැන්ත අභියෝගයකි. බලයට පත්වී වසරකට අධික කාලයක් ගත වී ඇතත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැත. ඊට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා ව්‍යවස්ථාමය වෙනසක් සිදු කිරීමට ද රජයට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකකට අධික බලයක් හිමි වී තිබේ. එහෙත්, ඊට අදාළව මෙතෙක් සාධනීය පියවර ගත් බවක් දක්නට නොලැබේ.
මේ හේතුවෙන්, ආණ්ඩුවට බලයට පත්වීමට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම අභියෝගයක් බවට පත්ව තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ද වත්මන් රජය මුහුණ දෙන තවත් අභියෝගයකි. බලයට පත්වීමට පෙර ඔවුහු එම පනත පවත්වාගෙන යාම නිර්දය ලෙස විවේචනය කළහ. කෙසේ වෙතත්, එම පනත මේ වන විටත් ක්‍රියාත්මක වන අතර, ඒ වෙනුවට වත්මන් රජය ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතක් (Protection of the State from Terrorism Act) මේ වන විට ඉදිරිපත් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම ආරම්භ කර ඇති අතර, පෙබරවාරි 28 වන දා තෙක් ඒ සඳහා කල් ලබා දී ඇතැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි. ඔහු ප්‍රකාශ කළේ, මීට මාස කිහිපයකට පෙර ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්නගේ ප්‍රධානත්වයෙන් යුතු විද්වතුන් 17 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් එම කෙටුම්පත සකස් කර ඇති බව ය.
මහජන අදහස් විමසීමෙන් පසුව අදාළ කෙටුම්පතට සංශෝධන සිදු කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විරෝධය පළ කරන අතර, එය ද රජයට අභියෝගයක් වනු ඇත.
සමාජයීය අභියෝග වශයෙන් මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා යන දෙදෙනා ම පෙන්වා දෙන්නේ, දිට්වා සුළි කුණාටුව නිසා ශ්‍රී ලංකාවට එල්ල වූ බලපෑම හේතුවෙන් සමාජයීය අභියෝගවලට ද රජයට මුහුණ දීමට සිදුවනු ඇති බව ය.
8. ජනතාවගේ ජීවනෝපාය ගැටලු
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ව්‍යසනය හේතුවෙන් වින්දිතයින්ට වන්දි ගෙවීම, සහන සැලසීම ආදිය වෙනුවෙන් රාජ්‍ය වියදම් ඉහළ යන බව මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දෙයි. ඊට අමතරව, රැකියා අහිමි වීම්, ජීවන තත්ත්වය පහත වැටීම්, භාණ්ඩ මිල ඉහළ යාම ආදිය හේතුවෙන් ජනතාව යම් අසහනකාරී තත්ත්වයකට පත්වීම වළක්වා ගැනීමට රජය විසඳුම් සෙවිය යුතු බව මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පෙන්වා දුන්නේ ය.
2025 වසරේ ජනවාර් 01 වන දා සිට එම වසරේ අගෝස්තු 18 වන දා දක්වා ශ්‍රී ලංකාවේ සිදුවූ වෙඩි තැබීම් පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා පොලිසිය බීබීසී සිංහල සේවය කළ ඉල්ලීමක් අනුව ලබා දී තිබේ.
එම වාර්තාවට අනුව එම කාලය තුළ වෙඩි තැබීම් සිද්ධි 73ක් පොලිසියට වාර්තා වී ඇත. ඒ අනුව, අදාළ කාලයේ දින 230ක් තුළ සිද්ධි 73ක් වාර්තා වී තිබේ. එය ආසන්න වශයෙන් අනුපාතයක් ලෙස ගත් විට දින 3කට වරක් වෙඩි තැබීමක් සිදුව ඇතැයි ඇස්තමේන්තු කළ හැකි ය.
මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ප්‍රකාශ කළේ, මෙම තත්ත්වය නිසා අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වී ඇති අතර, එය මෙරට සංචාරක කර්මාන්තයට ද ඍජුව බලපාන බව ය.
10. අධ්‍යාපන ක්ෂේත්රයේ අභියෝග
අධ්‍යාපන ක්ෂේත්රය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය දුන් පොරොන්දු ඉටු කිරීම ද මේ වන විට රජයට අභියෝගයක් වී තිබේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය දැඩි අභියෝගයකට මුහුණ දී ඇති අතර, අධ්‍යාපන ක්ෂේත්රයට සම්බන්ධ බොහෝ විද්වතුන් පවසන්නේ, ආණ්ඩුව නිසි අගැයීමක් හෝ නියමු ව්‍යාපෘති කිසිවක් නොමැතිව හදිසියේ නව ප්‍රතිසංස්කරණ සිදු කිරීමට උත්සහ කරන බව ය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින පරිසරයක 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට ‘නුසුදුසු වෙබ් අඩවියක නමක්’ ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් ද දැඩි ආන්දෝලයක් මතු වී තිබේ.
මේ වන විට, එම ගැටලුව සම්බන්ධයෙන් CID පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
නව ප්‍රතිසංස්කරණවලට අදාළ මොඩියුලවල තවත් බොහෝ දෝෂ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ, රජය ප්‍රමුඛතා හඳුනා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ පා සිටින බව ය.
අධ්‍යාපන ප්රතිසංස්කරණයක් සිදුකිරීමට පෙර අදාළ සියලු පාර්ශව සමග ගැඹුරින් සාකච්ඡා කර වගකීම්සහගතව තීන්දු ගත යුතු බව ඔහු අවධාරණය කළේ ය.
මේ අතර, ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර විපක්ෂය නියෝජනය කරන සමයේ ඔවුන් දැඩිව හඬ නැගුවේ, අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක මුදල් ප්‍රතිශතයක් වෙන් කළ යුතු බවට ය. එහෙත්, ඔවුන් ඉදිරිපත් කළ අයවැය දෙකේ ම එය ඉටු කිරීමට රජයට නොහැකි විය. ඒ අනුව, එය ඉටු කිරීම ද වත්මන් රජයට අභියෝගයක් වී තිබේ.
මේ කරුණු සියල්ල සලකා බැලීමේදී පෙනී යන්නේ, 2026 වසර ජාතික ජන බලවේග රජයට අතිශයින් අභියෝගාත්මක වසරක් වනු ඇති බව ය. මේ වන විට ආණ්ඩුව සිය දෙවන අයවැය ඉදිරිපත් කරමින් දෙවන වසරට පා තබන අතර, බලයේ සිටින ආණ්ඩුවක ජනප්‍රියතාව අඩු වැඩි වීම සාමාන්‍ය තත්ත්වයකි.
දිට්වා සුළි කුණාටුව වැනි අනපේක්ෂිත ආපදාවන්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතු වන ආන්දෝලන, ආර්ථික වර්ධනය මන්දගාමී වීම, උද්ධමනය ඉහළ යාම ආදී ගැටලුවලට රජය විසඳුම් දෙන ආකාරය මත රජයේ ජනප්‍රියත්වය ස්ථාවර බව සහ තීරණය වනු ඇත.
ඒ අනුව මෙම සියලු අභියෝග වලට මුහුණ දෙමින් ජනතා අපේක්ෂා ඉටු කිරීමට 2026 වසරේදී ආණ්ඩුවට සිදුවනු ඇත.
උපුටා ගැනීම බී. බී. සී වෙබ් පිටුවෙනි.
