විදුහල්පතිගේ පහරදීමෙන් දින අටක් රෝහලේ සිටි පාසල් සිසුවෙකුගේ පැමිණිල්ලක් සූරියවැව පොලිසිය මග හරී…!

සූරියවැව පොලීසිය

සූරියවැව ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පතිවරයකු විසින් සිදුකළ අමානුෂික දඬුවමක් හේතුවෙන් දින අටක් තිස්සේ සිය දරුවාට රෝහලේ ප්‍රතිකාර ලැබීමට සිදු වූ බවත්, මේ සම්බන්ධයෙන් සූරියවැව පොලිසියට පැමිණිල්ලක් සිදුකළද සූරියවැව පොලිසිය විසින්ද මෙතෙක් එම පැමිණිල්ලට කිසිදු සාධාරණයක් ඉටු නොකර පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් සිටින බවට සිසුවාගේ මව ඊයේ(26) පැවසුවාය.

මෙලෙස පහර කෑමට ලක්ව හම්බන්තොට මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් හිද නිවස කරා පැමිණ සිටින්නේ සූරියවැව පදිංචි 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ මව මෙසේ පැවසුවාය.

පසුගිය 18 වන දින මගේ දරුවා පාසල් ඇරී නිවසට පැමිණ පසු තරමක අසනීපයෙන් සිටිනු දක්නට ලැබුණා. මම ඒත් දරුවගෙන් ඇහුවා මොකද කියල.. නමුත් දරුවා මොකුත් කිව්වේ නෑ.කොහොම හරි හවස් වෙනකොට දරුවා කිව්වා අම්මේ මට කැරකැවිල්ල වගේ. නැගිටලා ඉන්න අමාරුයි කියලා. පුතාට ගොඩක් අමාරු වගේ හින්දා මම ඒ වෙලාවෙම දරුවා ප්‍රතිකාර සඳහා තණමල්විල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගියා.. ඒ යන අතර වාරයේදී මම දරුවගෙන් ඇහුවා මොකද වුනේ කියලා. එහිදී දරුවා මට කිව්වා මම ඉස්කෝලේ ඩෙස්ක් එකකට අතින් තට්ටු කරමින් සිටිය බවත් එම අවස්ථාවේ දී විදුහල්පතිවරයා ” මොකාද ඔය ඩෙස්ක් එකට තට්ටු කරන එකා.කෝ මෙහෙට වරෙන් කියා” අතේ තිබුණු වේ වැලෙන් මගේ කකුල් දෙකට ගැහුවා. ඊට පස්සේ විදුහල්පතිවරයා යළිත් අතින් වැරෙන් මගේ කන හරහා පහරක්ද ගැහුවා යැයි මට දරුවා පැවසුවා. ඒ අනුව මම දරුවා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ පසු එහි වෛද්‍යවරුන් දරුවා පරීක්ෂා කර එම අවස්ථාවේදීම දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යැවුනා. පසුව සිද්ධිය සම්බන්ධයෙන් මම 19 වන දින සූරියවැව පොලිසියට ගොස් පැමිණිල්ලක්ද සිදු කළා. දරුවාට මෙම සිද්ධිය වුණේ පසුගිය 18 වන දින. දරුවා දින 08ක් රෝහලේ නේවාසිකට ප්‍රථිකාර ලබලා 2025.12. 25 වෙනිදා තමයි ටිකට් කපලා දරුවා ගෙදර ආවේ. ඒත් දරුවා තවම කම්පනයෙන් ඉන්නේ.

එහෙම තියෙද්දිත් මම සූරියවැව පොලීසියට සිදු කළ පැමිණිල්ලට සූරියවැව පොලිසිය මේ වෙනකම් කිසිදු සාධාරණයක් සිදු කළේ නෑ. ඒකට හේතුව තමයි මෙම විදුහල්පතිවරයා සූරියවැව ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීවරියකගේ සැමියා වීම. සූරියවැව පොලිසියෙන් මගේ දරුවට කිසිදු සාධාරණයක් ඉටු නොවුණ නිසා මම දුරකථනයෙන් මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටද මේ සම්බන්ධයෙන් දැනුම් දීමට කටයුතු කළා. එම අවස්ථාවේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මමත් දුරකථනයේ රැදී ඉද්දිම සූරියවැව පොලිස් ස්ථානාධිපතිවරයාද දුරකථනයෙන් සම්බන්ද කර ගත්තා. පසුව ඔහු මට කීවා විදුහල්පතිවරයෙකු විසින් සිදු කළ පහර දීමක දී පහර කෑමට ලක් වූ සිසුවාගේ වෛද්‍ය වාර්තා එන තෙක් විදුහල්පතිවරයා අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් උපදෙස් දී ඇති බවයි. මට තේරෙන්නේ නෑ ඇයි පොලීසිය එක එක අයට එක එක ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා. පොලීසියෙන් කියන විදියට මගේ දරුවා මැරුණමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ. මේක මාර නීතියක්. කාට හරි ගැහුවොත් එයාව අත්අඩංගුවට ගන්නේ ගුටිකාපු එක්කෙනාගේ වෛද්‍ය වාර්ථාව බලලද කියලා අහන්න වෙනවා මටත්… මේක මාලිමා මන්ත්‍රීවරියගේ සැමියා වීම නිසා තමයි පොලීසිය මෙහෙම මග අරින්නේ.. පොඩි වරදකටත් මිනිස්සු කුදලගෙන ගිහින් කූඩු කරන පොලීසිය මේ සිද්දියේදී මාලිමා මන්ත්‍රීවරියගේ සැමියා වීම නිසාම මේකට නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරමින් ඉන්නවා. අසරණ අපට පොලීසියකට ගියාට පිහිටක් නෑ. මේ සිද්ධියත් එක්ක දැන් දරුවා ස්කෝලේ යන්න බෑ කියනවා යැයිද ඇය හැඩූ කදුළින් පැවසුවාය.

සිද්ධිය සම්බන්දයෙන් අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ අදාළ විදුහල්පතිවරයා සූරියවැව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකගේ සැමියා බවත්, ඔහු සූරියවැව රන්මුදුවැව විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන බවත්ය. සිද්දියට අදාළව විදුහල්පතිවරයා සූරියවැව පොලීසියට කැදවා ප්‍රකාශයක් පමණක් සටහන් කරගෙන ඇති බවද වාර්තා වීය.

මේ පිළිබදව අප සූරියවැව පොලීසියෙන් කළ විමසීමකදී එහි වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරවීර මහතා ප්‍රකාශ කලේ නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත චක්‍රලේකයක් මගින් දැනුම් දී ඇත්තේ ගුරුවරයෙකු විසින් සිසුවෙකුට සිදුකරන පහරදීමකදී තත්වය බරපතල නොවන්නේ නම් අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන ලෙසය. තමන් මේ පිළිබදව සොයා බැලීමේදී දරුවාට එවැනි හානියක් සිදු වී නොමැති බවට වාර්ථා වූ බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් රජය මගින් නිකුත් කර ඇති චක්‍රෙල්ඛවල ළමුන්ට සිදුවන හිංසන වලදී ක්‍රියාත්මකවිය යුතු ආකාරය පැහැදිලව දක්වා තිබියදී ගොරකා දඩමස් කරමින් සූරියවැව පොලීසිය නීතියට පරිභාහිරව කටයුතු කිරීම පිළිබදව බොහෝ දෙනෙකු මේ වනවිට විමතිය පළ කරති.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය 2025 ජූලි 04 වනදින දෙවන කොටසේ පළ කරන ලද දණඩ නීති සංග්‍රහයේ 308(ආ) සංශෝදනය පරිදි වයස අවුරුදු 18ට අඩු යම් තැතැන්තෙකුගේ භාරකාරත්වය, භාරයේ හෝ ආරක්ෂකත්වය දරා සිටිමින් ළමයින් සම්බන්දව ශාරිරික දඬුවම් පැමිණවීම සම්බන්දයෙන්, රජයේ අධිකාරී ආයතනයක, පුහුණු පාසලක, පාසැල් නේවාසිකාගාරයක, ළමා නිවාසයක, දිවා සුරකුම් මධ්‍යස්ථානයක භාරයේ සිටින වයස අවුරුදු 18ට අඩු යම් තැනැත්තෙකුට මානසික වශයෙන් හෝ ශාරිරික වශයෙන් දඩුවම් කිරීමේ වරද කරන කවර හෝ තැනැත්තෙකුට එම වරද සිදුකර ඇත්නම් මාස හයකට නොඅඩු වූද අවුරුදු දෙකක් නොඉක්මවන්නා වූ කාලයකට බන්ධනාගාරගත කිරීමකින් හෝ රුපියල් ලක්ෂයක් දක්වා වූ දඩයකින් හෝ එම දෙකින්ම දඩුවම් ලැබිය යුතුය යන්න දක්වා තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දරුවාගේ මව මානව හිමිකම් කොමිෂන් සභාව, ළමාරක්ෂන අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු ආයතන රැසකට පැමිණිළි කිරීමට පියවර ගන්නා බවද පැවසීය.

දරුවා වරදක් කලා නම් ඊට දිය යුතු දඬුවමක් තිබියදී මෙලෙස අමානුෂික අයුරින් පහර දීම කිසිම දෙමාපියෙකු අනුමත නොකරණ බවද ඇය පැවසුවාය.

සටහන.
මාධ්‍යවේදී,
නුවන් ජයසේකර.
Social Sharing
අවකාශය නවතම