නොවැම්බර් 12 කලබලකාරී විපක්ෂයේ අසත්‍යය සහ ආණ්ඩුවේ නොසැළකිල්ල!

 

රාජ්‍ය තාන්ත්‍රිකත්වය

-නීතිඥ දුලාන් දසනායක-

පසුගිය නොවැම්බර් මස 12 වනදා සුළි කුණාටුවක් පැමිණෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනාවැකියක් පළ කල බවට විපක්ෂය (විපක්ෂයේ සමගි ජන බලවේග කණ්ඩායම) විසින් පාර්ලිමේන්තුවේදීද ඉන් පිටතදීද සිදු කරන ලද ප්‍රකාශ මුළු මනින්ම අසත්‍ය ප්‍රකාශ බව අවිවාදිතය. කලබලකාරී දිගු දුර නොපෙනෙන විපක්ෂය සෑම විටම සිදු කරන්නේ ජනතාව වෙනුවෙන් ඇසිය යුතු සත්‍ය ප්‍රශ්නය යටපත් කරමින් අනවශ්‍ය කලබලයකින් නිව්ස් ප්ලාන්ට් කිරීමට මාධ්‍යය ඉදිරියේ මං පොර වීමට කටයුතු කිරීමය. සමගි ජන බලවේගයේ දැකිය හැකි බරපතළ ප්‍රශ්නය මෙයයි. සත්‍ය වශයෙන්ම කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් එම මාධ්‍ය සාකච්ඡාවේදීද පෞද්ගලික මාධ්‍ය ආයතනයක් සමග පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කලේ පීඩන අවපාතයක් වර්ධනය බවත් එය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය විය හැකි බවත් 14 වන දා සිට දැනට පවතින වැසි බර කාලගුණය වර්ධනය වන බවයි. සුළි කුණාටුවක් පිළිබද ප්‍රකාශයක් ඔහු සිදු නොකරන ලද නමුත් නොවැම්බර් මස 14 වන දින පැවැති මාධ්‍ය හමුවේදී ඔහුගේ ප්‍රකාශය තරමක් බරපතළ වුනු බව සත්‍යයක්. ගැඹුරු පීඩන අවපාතයක් වර්ධනය වන බව ඔහු පැහැදිලිව ප්‍රකාශ කරමින් යම් අධික වර්ෂාපතනයක් ඔහු පුරෝකතනය කල අතර සුළි කුණාටු යන වදනය පමණක් ඔහු භාවිතා නොකරන බවයි ඔහුගේ ප්‍රකාශය වුනේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී තහවුරු කල පරිදි නිල වශයෙන් සුළි කුණාටුවක් පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුම් දීම ලැබී ඇත්තේ නොවැම්බර් මස 25 වන දිනය. කෙසේ වුවද ජාත්‍යන්තර මාධ්‍ය ආයතන මෙම අනතුර 24 සිට ප්‍රචාරය කර ඇති බව දැන් පැහැදිලිය. කලාපයේ කාලගුණ අනාවැකි සම්බන්ධව අතිශයින්ම වැදගත් රාජකාරියක් සිදු කරන ඉන්දියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි බැහැර නොකල යුතුය. රටක ආරක්ෂාව සම්බන්ධයෙන් බුද්ධි අංශයන්ට මෙන්ම කාලගුණ ව්‍යසන සම්බන්ධයෙන්ද අද පවතින තත්වය අනුව තනිව කටයුතු කල නොහැකි අතර ඒ නිසා වෙනත් රටවල ආයතන සම්බන්ධවද නිසි සම්බන්ධීකරණයක් තිබිය යුතුය. පාස්කු ප්‍රහාරයද කල් ඇතුව දැනුම් දී තිබුනේ ඉන්දියානු බුද්ධි අංශ විසිනි. මෙම කලාපයේ කාලගුණ ව්‍යසන සම්බන්ධයෙන්ද ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකි සම්බන්ධ අවදානය යොමු කිරීම අත්‍යවශ්‍යය. දැනට වාර්තාවන කරුණු අනුව 25 වන දා සිට ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අනාවැකි පළ කර ඇත.

මෙම සියළු අනාවැකි පැවැතුණද අපගේ ආයතනයන්ට මේ සම්බන්ධයෙන් පූර්වයෙන් මැදිහත් වී විශේෂයෙන් ජල ගැලීම් තුළින් අහිමි වුනු ජීවිත බේරා ගැනීමට නොහැකි වූයේ ඇයි? ජාතික හා ජාත්‍යන්තර ආයතනයන්හි සම්බන්ධීකරණයද, ජාතික හා ජාත්‍යන්තර ආයතනයන්හි අනාවැකි සහ තොරතුරු රට තුළ දේශපාලන අධිකාරියටද අනෙකුත් ආයතන හා නිලධාරීන්ටද නොලැබුණේ හෝ ඒ ගැන ඔවුන් සමග සාකච්ඡාවක් නොවුනේ ඇයි?

ව්‍යසන කළමණාකරන ජාතික සභාව නිසි පරිදි ක්‍රියාත්මකද?

ව්‍යසන කළමණාකරන ජාතික සභාව

2005 වසරේ සම්මත කරන ලද අංක 13 දරණ ව්‍යසන කළමණාකරන පනතේ ප්‍රධානතම ආයතනික ව්‍යුහයක් වන්නේ ව්‍යසන කළමණාකරන ජාතික සභාවයි. මෙම පනතට අනුව ව්‍යසන කළමණාකරන ජාතික සභාවේ නිල බලයෙන් සභාපති වන්නේ ජනාධිපතිවරයා වන අතර අගමැතිවරයා නිල බලයෙන් උප සභාපති වෙයි. මීට අමරතව විපක්ෂ නායකවරයාද එහි සාමාජිකයෙක්. එමෙන්ම සමාජ සුභසාධන, පුනුරුත්ථාපන, පරිසර, ස්වදේශ කටයුතු, සෞඛ්‍ය, විද්‍යා හා තාක්ෂණ, නිවාස, වෙරළ සංරක්ෂන, වාරිමාර්ග, බලශක්ති, ආරක්ෂක, පොලීසිය, මුදල්, ඉඩම්, ධීවර හා ජලජ සම්පත්, විදේශ කටයුතු, ජල සම්පාදන, මහාමාර්ග, නාගරික සංවර්ධන සහ අධ්‍යාපන යන විෂය ක්ෂේත්‍ර අයත් අමාත්‍යංශයන්හි කැබිනට් ඇමතිවරුන්ද විපක්ෂ නායකගේ එකගත්වයෙන් කතානායකතුමා නම් කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුද එහි සාමාජිකයන් වෙයි. තවද සියළු පළාත් සභාවන්හි ප්‍රධාන අමාත්‍යවරුන්ද එහි සාමාජිකයන් ය.

එහි සාමාජිකයන් වන එකී විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් එක් අයෙක් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතාය. අනුරාධ ජයරත්න මහතා සංවිධානය කරන ඡන්ද බල ප්‍රදේශය වන ගම්පොළ මෙම ව්‍යසනයේ දරුණුතම පීඩාවට ලක් වූ ප්‍රදේශයක් වෙයි. අනුරාධ ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කලේ මෙම සභාව අවසාන වරට රැස්වූයේ කවදාදැයි අපට ආණ්ඩුව දැන්විය යුතු බවයි. ඒ අනුව ඔහු නගන චෝදනාව නියමිත කාලයේදී මෙම සභාව රැස් නොවූ බවයි.

මෙම සභාව මීට පෙර අගෝස්තු 6 වන දින රැස් වූ බව ආණ්ඩුවේ පාර්ශවයේ අදහස වුවද පනත ප්‍රකාරව මාස තුනකට එක් වරක් අනිවාර්යයෙන් මෙම සභාව රැස් විය යුතුය. ඒ අනුව අගෝස්තු 6 සිට නැවතත් මාස තුනක් ගෙවෙන අවස්ථාවේදී මෙම සභාව රැස් වී නොමැති බව පැහැදිලිය. අවශ්‍යතාවයක් ඇතිනම් මෙම සභාව ඕනෑම අවස්ථාවක කැදවිය හැකි බවද මෙම පනතේ සදහන් වෙයි. නොවැම්බර් 14 සිට මෙම කලාපයේ ඇති වී ඇති කාලගුණ වෙනස තුළද ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් ලෙසද මෙම සභාව ජනාධිපතිවරයා විසින් කැදවිය යුුතුව තිබුණි. ඒ සම්බන්ධයෙන් අදාළ අතිරේක ලේකම් වරුන් ජනාධිපති ලේකම්වරයා දැනුම්වත් කළ යුතුව තිබුණි. විපක්ෂ නායකවරයාට අනුව නොවැම්බර් මස 27 වැනි දින රැස් වී ඇත්තේද ව්‍යසන කළමණාකරන ජාතික සභාව නොවේ. නමුත් ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ එදින රැස්වුනේ එම සභාව බවයි.

මෙම සභාව කැදවූයේ නම් මෙම ඇතිවෙමින් පැවැති සුවිශේෂී කාලගුණ තත්වය ගැන පූර්ණ සාකච්ඡාවක් සිදු කල හැකිව තිබුණු අතර විපක්ෂ නායක ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ටද වගකීමෙන් ගැලවීමට නොහැකි වනු ඇත. මෙම විවිධ පුද්ගලයන් නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඇති මෙවන් සභාවකදී කාලගුණ වෙනස්කම ගැනද වාන් දොරටු විවෘත කිරීමේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැනද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයාම් අනතුරු ඇගවීම් ගැනද මහවැලි ගගේ තත්වය ගැනද අතීත අත්දැකීම් ගැනද අනිවාර්යයෙන් සාකච්ඡා වීම සිදු වනු ඇත. එසේ වූයේ නම් ව්‍යසන කළමණාකරණ ජාතික සභාව සිය ප්‍රා දේශීය වශයෙන් ඇති සම්බන්ධීකරණ ජාලය ශක්තිමත් කරමින් කටයුතු කිරීමට ඉඩ තිබුණි. ජනාධිපතිවරයා දැන් දිස්ත්‍රික් මට්ටමට ගොස් සිදු කරන සම්බන්ධීකරණය ආපදාවට පෙර සිට ජනාධිපතිගේ ජාතික මෙහෙයවීමෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් ජාතික සභාව හරහා සිදු කල හැකිව තිබුණි.

වාන්දොරටු විවෘත කිරීමේ නොසැලකිල්ල?

වාන් දොරටු විවෘත කිරීමට සිදු වනු ඇති බවත් මේ වන විටත් ලැබුණු වර්ෂාවෙන් ජලය පිරී ඇති බවත් දැන ගැනීමට ඕනෑ තරම් ඉඩ තිබුණි. විශේෂයෙන් මේ පිළිබදව වගකීම ඇති මහවැලියේ හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටද මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයන්ටද අදාළ අමාත්‍යංශයන්හි ඇමතිවරුන්ටද මේ සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් තිබිය යුතුය. මිලි මීටර 500කටත් අධික වර්ෂාවක් ඇද හැලෙද්දී ජලාශ පිරී යද්දී අදාළ ගංගා අවට පහත් බිම්හි ජනයාට බරපතළ බලපෑම් ඇති වන බව මෙම ආයතනයන්හි නිලධාරීන් හොදින්ම දනී. දේශපාලඥයන්ද එය දැන ගත යුතුය.
පෙනී යන පරිදි 27 වනදා පැවැත්වූ මෙම ව්‍යසනය සම්බන්ධ සභාවේදී මෙම වාන් දොරටු විවෘත කිරීම ගැන සාකච්ඡා වුනාද යන්න ගැටළුකාරීය. කෙසේ වුවද එසේ විවෘත කරන බවට වන පණීවිඩය විශේෂයෙන් මහවැලි ගග අවට ජනයාට ලැබී නොතිබුණු බවට ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇත. දැදුරු ඔය උපරිම ධාරිතාවයෙන් වාන් දොරටු විවෘත කරන බව 27 සවස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලද එවන් තත්වයක් තුළ හලාවත නගරයද ජලයෙන් යට වන බව දැන සිටියද සෞඛ්‍ය අමාත්‍යංශය හලාවත රෝහලේ රෝගීන් ඉවත් කිරීමට පවා කටයුතු සිදු කර නොතිබුනු බව පෙනේ. ගම්පොළ, නාවලපිටිය ගම් නගර යට කරමින් එක් වරම පැමිණ ඇත්තේ සුළු පටු ජල ප්‍රහාරයක් නොවේ. අඩුම තරමින් 27 දහවල් කාලයේ සිට හෝ මහජනයා ඉවත් කිරීමේ කටයුතු වඩා පුළුල්ව සහ කඩිනම්ව කල යුතුව තිබුණි.

නාය යාම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්‍රමාණවත් නිලධාරීන් අඩු ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැති භූ ගර්භ විද්‍යාඥයන් සමග නිසි සම්බන්ධීකරණයක් නැති ආයතනයක් බව පෙනී යන අතර ආයතනයෙන් පිට විෂය ප්‍රවීණයන් සමග සම්බන්ධතාවය පෙර සූදානමක් ලෙස ඔවුන්ට ලබා දිය යුතුව තිබුණි. ජනාධිපතිතුමාගේ මහනුවර රැස්වීමේදී පෙනී ගියේ ඔවුන් හා ආයතනයට පරිභාහිර වෘත්තිකයන් හා සිසුන් අතර සම්බන්ධීකරණය ගොඩ නගන්නේ දැන් බවය. මෙම ස්ථාන මීට පෙර නාය යාන බවට හදුනා ගෙන ඇති ස්ථාන වන්නේ නම් මිලිමීටර 500කට අධික වර්ෂාපතනය ඇති වද්දී මීට වඩා සංවිධානාත්මකව හා කඩිනම්ව ජනයා ඉවත් කර ගැනීම අසීරු වුවද කළ හැකිව තිබුණු කටයුත්තකි. සිය ප්‍රායෝගික දැනුමෙන් නාය යාමේ අනතුර දැන ගත්ත ඇතැම් ජනයා එලෙස ඉවත් වී සිටි බවට වාර්තා විය.

අපගේ අදහස නම් නොවැම්බර් මස 25 වනදා වන විට මෙම බරපළ ව්‍යසනයේ ලකුණු සෑම තැනින්ම පහළ වීමට පටන් ගෙන තිබුණි. නොවැම්බර් 27 වනදා වන විට බරපතළ ව්‍යසනයක් වීම තහවුරු වී තිබුණි. මහජනයා ඉවත් කිරීම ආරම්භ කිරීමක් හෝ සිදු නොවුනි. 2004 සුනාමියෙන් පසු ඇති වූ සුනාමි අනතුරු ඇගවීම් දෙකකදී මහජනයා පොලීසිය මැදිහත් වී ඉතා ඉක්මනින් ඉවත් කිරීමක් සිදු විය. එක් ඉවත් කිරීමකදී පොලීසිය හා ආපදා කළමණාකරන අංශ ක්ෂණිකව මැදිහත් වී වෙරළබඩ ජනයා ඉතා කෙටි කාලයක් තුළ ඉවත් කෙරුණු අතර එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගාලු පාර දිගේ සිය නිල රථයෙන් මිනිසුන් පෝලිම් ගැසී සිටි ගාලු පාරේ ඇතැම් දිගේ කොළඹ සිට ගමන් කරන ලදී. මේ යුද්ධය පැවැති එතුමියටද බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබුණු වකවානුවක බව සිහිපත් කල යුතුය.

මිනිසුන් ඉවත් කිරීම පුළුල් බලපෑම් සහගත අනතුරු ඇගවීමකින් හා ප්‍රබල රාජ්‍ය යාන්ත්‍රණයේ මෙහෙයවීමකින් සිදු කල හැකිව තිබුණු දෙයකි. එම යාන්ත්‍රණය කෙසේ හෝ ක්‍රියාත්මක නොවුනි. ගංගා දෙපස මගී ප්‍රවාහන බස් රථ සේවාද වාන් දොරටු පූර්ණ ධාරිතාවයෙන් විවෘත කරද්දී ක්‍රියාත්මකව තිබුණි.

ආපදාවෙන් පසුද ආපදා සහන සේවා කටයුතු වල සම්බන්ධීකරණය දුර්වල වූයේ ව්‍යසන කළමණාකරණ සභාව රැස් වී කල යුතුව තිබූ සම්බන්ධීකරණ කටයුතු සිදු නොවී පැවතීමය. දින කිහිපයක් යන විට ආණ්ඩුව එම සම්බන්ධීකරණයේ යම් සමත් බවක් පෙන්නුම් කලේය. මේ වන විට ජනාධිපතිවරයාටම දිස්ත්‍රික්ක මට්ටමට ගොස් සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට සිදු වී ඇති අතර එහිදීද එළිදරව් වන්නේ සම්බන්ධීකරණයේ දුර්වලතාවයන්ය. මෙහෙයුම් යාන්ත්‍රණයක් ලෙස කටයුතු කරන්න යැයි ජනාධිපතිට කීමට සිදු වී ඇත්තේ එම නිසාය. එම මෙහෙයුම් යාන්ත්‍රණය ආරම්භ කල යුත්තේ සියළු ආයතන සම්බන්ධ කරමින් මේ වන විටත් සකසා ඇති පුළුල් නෛික රාමුවක් සහිත ව්‍යසන කළමණාකරන සභාව මගින් සහ ඊට අනුෂංග දිස්ත්‍රික් ආපදා කළමණාකරන කමිටු තුළින් ය. ඒවායේ ජනාධිපති කියන තනිව වැඩ කරන ආයතන ඒකාබද්ධ කිරීමේ නෛතික යාන්ත්‍රණය පවතියි.

මෙම පවතින නෛතතික යාන්ත්‍රණ නොවැම්බර් 25න් පසුවද කඩිනමින් 27 මධ්‍යම රාත්‍රියට පෙර නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීමක් නොසලකිල්ලක් හා අතපසුවීමක් සිදු වී ඇති බවට සාධාරණ සැකයක් ඇති වී තිබේ. මෙම තත්වයට හේතු වූ යම් අතපසුවීමක් නොසැලකිල්ලක් සහ එසේ නැතිනම් පැහැර හැරීමක් සිදු වී ඇතිද යන්න සොයා බැලීමට ස්වාධීන ජනාධිපති කොමිසමක් සහ ආණ්ඩුවේ පාරදෘෂ්‍යභාවය සුරැකීම හා විශ්වසනීයත්වය තහවුරු කිරීමට විපක්ෂයේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කීරීම ආණ්ඩුව විසින් වහ වහා සිදු කල යුතුය.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග