කිසිදු විටක සාම විනිසුරු ක්‍රමය දේශපාලනීකරණය කරන්නේ නැහැ! – අධිකරණ ඇමති

කිසිදු විටක සාම විනිසුරු ක්‍රමය දේශපාලනීකරණය නොකරණ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, නව සාමදාන විනිශ්චයකාරවරුන් 40 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද( 24) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී එක්වෙමිනි.

ප්‍රජාවට කරන ලද සේවය සහ අධ්‍යාපනික සුදුසුකම් අනුව තෝරාගන්නා ලද පුද්ගලයින් අතරින් 114 දෙනෙකුට නව සාම විනිසුරු පත්වීම් ලබාදීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

සාමදාන විනිසුරු පදවිය යනු ශ්‍රී ලංකාවේ ප්‍රජා මට්ටමේ යුක්තිය ඉටුකිරීමේ වැදගත්ම කුළුණු වලින් එකක් ලෙස හඳුන්විය හැකියි. මෙම පත්වීම් ලිපි ලැබෙන විට, ඔබ ඉතා පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක් මම ඔබට කියන්න කැමතියි, ඔබ අද සිදුකරන්නේ තනතුරක් භාර ගැනීම පමණක් නොවේ. ඔබ ජාතිකමය වශයෙන් සිදුකරන පරිවර්තනයක වගකිවයුතු කොටස්කාරයකු බවට අද දින සිට පත්වෙනවා. අද සිට ඔබගේ රාජකාරිය තුළ නියෝජනය විය යුත්තේ දේශපාලන පක්ෂපාතිත්වය නොවේ. සම්බන්ධතා නොවේ. ගනුදෙනු නොවේ.

ඔබේ පත්වීම නියෝජනය කරන්නේ, කුසලතා, අවංකත්වය, මහජන ගෞරවය, විනය සහ කිසිදු පක්ෂග්‍රාහීත්වයෙන් තොරව සේවය කිරීමට ඇති සූදානමයි. ඔබේ රාජකාරිය ආරම්භ වන්නේ මිනිසුන්ට උපකාර, මග පෙන්වීම සහ ආරක්ෂාව සොයන අවස්ථාවේදීයි. අද සිට ඔබ පුරවැසියා සහ රාජ්‍යය අතර පාලම බවට පත්වෙනවා.

ශ්‍රී ලංකාවට නැවතත් නැගී සිටිය හැක්කේ බොරු පොරොන්දු මගින් හෝ, දේශපාලන නාට්‍ය හරහා හෝ සටන් පාඨ හරහා හෝ නොව විනය, නීතිය, යුක්තිය, ගෞරවය සහ පිරිසිදු පාලනය මගින් පමණයි. නව යුගයක් ආරම්භ වන්නේ පිරිසිදු දෑත් සමඟයි. මහජනතාව සෑම රාජ්‍ය නිලධාරියෙකුගෙන්ම සාධාරණත්වය, අවංකබව සහ විශ්වසනීයත්වය ඉල්ලා සිටින කාලයක ඔබව සාමදාන විනිශ්චයකරුවකු ලෙස අද පත්වීම් ලබනවා.

ඔබ සේවය කරන ආකාරය අනුව රාජ්‍ය සේවය සහ නීති පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීම හෝ දුර්වල කිරීම සිදුවෙනවා. බොහෝ කාලයක් තිස්සේ, මේ රටේ ජනතාව දූෂණය, මංකොල්ලකෑම, සීමිත පිරිසක් පමණක් ලබාගත් වරප්‍රසාද සහ බලවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩනගා ඇති සමාජ දේශපාලන ක්‍රමයක් යටතේ දුක් වින්දා. මැතිවරණයකින් ආණ්ඩුව වෙනස් වුණ නමුත් තවම ඒ දූෂිත සංස්කෘතිය වෙනස් වෙලා නැහැ. මැතිවරණයකින් කාලයක් පුරා පැළපැදියම් වුණු දූෂිත සංස්කෘතියක් වෙනස් කරන්න බැහැ.

ඒ සඳහා දිගු කාලයක් පුරා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළක් අවශ්‍යයි. මැතිවරණයෙන් ලැබුන ඒ මහජන අභිලාෂය සමග අපි ඒ යහපත් සංස්කෘතිය නිර්මාණය කිරීමේ ගමනක් යමින් සිටිනවා.
නව දේශපාලන සංස්කෘතියේ ප්‍රධාන ආදර්ශයක් වන්නේ දූෂණයෙන් තොරවීමයි. මේ රට තවදුරටත් දූෂිතයන්ට නැවත අත්කරගන්නට ඉඩ නොතබන බවට අපි බලය ලබාගැනීමේ දී ජනතාවට පොරොන්දුවක් දුන්නා.

මේ රට අයිති අවංක, වෙහෙස මහන්සි වී වැඩ කරන, සාමාන්‍ය පුරවැසියාටයි. සාම විනිසුරුවන් ලෙස, අප හා එක්වන ඔබ, ප්‍රජාවගේ මට්ටමින් දූෂණයට එරෙහි පළමු මිනිස් පලිහ බවට අද දින සිට පත්වෙනවා.

දුප්පත් මවක් පෝරමයක් රැගෙන ඔබ වෙත පැමිණෙන විට, ගොවියෙකු රජයේ සේවයක් ලබා ගැනීමට ඔබේ අත්සන ඉල්ලා සිටින විට, තරුණයෙකු බලාපොරොත්තු ගොන්නක් රැගෙන ඔබ වෙත පැමිණෙන විට අල්ලස් නැතිව, උදව් කිරීමේ ගාස්තුවක් නැතිව, දේශපාලන මැදිහත්වීමක් නැතිව වෙනස්කොට සැලකීමක් නැතිව කටයුතු කරන ඔබ ඔවුන්ට පෙන්වන්නේ යුක්තිය ඇත්තේ විකිණීමට නොව ඉටුකිරීමට බවයි. ඔවුන් වෙත ඔබ පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ අලුත් වෙනසයි.

අපිට සහ රටට තිබෙන ප්‍රධාන තර්ජනය ප්‍රතිවාදී දේශපාලනය නොවේ. විෂ මත්ද්‍රව්‍ය හා බැඳුනු අපරාධ රාජ්‍යයයි. අපි අවංකව කතා කරමු, දශක ගණනාවක් තිස්සේ, පාතාල ලෝකය සෙවනැලි රජයක් මෙන් අප අවට සැරිසරමින් සිටිය බව අප සියලු දෙනා දැනගෙන එය නොදැන මෙන් සිටියා. මත්ද්‍රව්‍ය ජාල විසින් ගම්මාන, පවුල් සහ දරුවන් විනාශ කළා. රජයේ ආයතන වගේම සමාජ සංස්ථා මේ අපරාධ රාජ්‍යවල ගොදුරු බවට පත්වුනා. එම ආයතන සියල්ල දුර්වල වී අපරාධකරුවන් ජාවාරම්කරුවන්ගේ පාලනයට හසු වී තිබුණා.

නමුත් තවදුරටත් එසේ වන්නේ නැහැ. පාතාලය සහ අපරාධ සම්බන්ධව අපගේ රජයේ පණිවිඩය සරලයි සහ නිර්භීතයි. අප රජය යටතේ සිටින කිසිම දේශපාලනඥයෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ආරක්ෂා නොකරනු ඇත. ඒ වගේම කිසිම නිලධාරියෙක් පාතාල අපරාධකරුවෙකු ආරක්ෂා නොකරනු ඇතැයි අපි බලාපොරොත්තුවෙනවා. කිසිම ආයතනයකට දූෂණය සැගවීමට හැකිවන්නේ නැති බවට සහතික වන මට්ටමකට අපි ගෙන එනවා.

මේ රටේ මීට පෙර වෙන කවරදාවත් නොදුටු තීව්‍රතාවයකින් අපි මත්ද්‍රව්‍ය මාෆියාවේ සහ පාතාල ජාලවල කොඳු නාරටිය බිඳ දමමින් සිටිනවා. සාමදාන විනිශ්චයකාරවරුන් ලෙස ලෙස ඔබේ භූමිකාව අතිශයින් ම මෙහිදී ඉතා වැදගත්. ඔබ ජීවත්වන සමාජයේ බිම් මට්ටමේ යුක්තියේ ඇස් සහ කන් වන්නේ ඔබයි. කතා කිරීමට බිය වන පවුල්වල ආරක්ෂකයා වන්නේ ඔබයි. බියෙන් තොරව අපරාධවලට එරෙහිව නැගී සිටීමට පුරවැසියන් දිරිමත් කරන හඬවන්නේ ඔබයි. ප්‍රජාව අධිකරණ පද්ධතිය විශ්වාස කරන විට, අපරාධකරුවන්ට සැඟවිය නොහැකියි.

අපි නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කිරීමත් බිඳවැටුණු ආයතන පද්ධති වෙත විශ්වාසය නැවත ගොඩනැගීම සිදුකරනු ලබන්නේත් පොලිස් සේවය තුළ සිදුකරණ ශක්තිමත් ප්‍රතිසංස්කරණ, යුක්තිය පසිඳලීමට උපකාරවන ඩිජිටල් පද්ධති භාවිතය, නිරවද්‍යතාවය සහතික කිරීම සඳහා නවීන අධිකරණ තාක්ෂණ ක්‍රම. දේශපාලන මැදිහත්වීම් ඉවත් කරන විනිවිද පෙනෙන ක්‍රියා පටිපාටි, පොලිස් සේවය, බන්ධනාගාර සහ ප්‍රජා පාදක යුක්තිය පිළිබඳ නව ප්‍රතිසංස්කරණ මගිනි.

“යුක්තිය වරප්‍රසාදයක් නොවේ – එය උත්පත්තියෙන් ම ලද අයිතියක්” හම්බන්තොට‍ සිංහල දරුවෙක්, යාපනයේ දෙමළ තරුණයෙක්, පුත්තලමේ මුස්ලිම් වෙළෙන්දෙක්, නුවරඑළියේ මලයහම් තේ දළු නෙලන්නියක් මේ සියලු දෙනාටම නීතිය ඉදිරියේ එකම ආකාරයෙන් ගෞරවය දැනිය යුතුයි. අපි නිර්මාණය කිරීමට සඳහා සටන් කරන ශ්‍රී ලංකාව මෙයයි. අපි අපේක්ෂා කරන ශ්‍රී ලංකාව මෙයයි. කිසිවෙකු අයුක්තියට බිය නොවන, නීතියට ඉහළින් කිසිවෙකු නොමැති ජාතියක් බවට අප පත්විය යුතුයි.

සාමදාන විනිශ්චයකාරවරුන් ලෙස, ඔබ ගන්නා සෑම තීරණයකදීම නීතියට ඉහළින් කිසිවෙකු නොමැති බවට වන මූලධර්මය අනුව සිදුවිය යුතුයි. ඔබේ අත්සනට ඒ උත්තුංග බලය ඇත. ඔබේ තනතුරේ වගකීම එම බරෙන් ගන්න. ඔබේ අවංකබවින් ජීවිත වෙනස් කළ හැකියි.

අපට රජය ලෙස අමාත්‍යාංශය ලෙස අරමුදල් වෙන් කළ හැකියි. අපට නීති සම්මත කළ හැකියි. අපට ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය හැකියි. නමුත් ඒ සියල්ල භූමියේ පැල කළ හැක්කේ ඔබලාටයි. ඔබේ ප්‍රජාවන් තුළ රාජ්‍යයේ මුහුණත වන්නේ ඔබයි. එබැවින් භූමියේ සිටින නිලධාරීන් තම රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත් වුවහොත් රජයේ ඒ සියල්ල අර්ථ විරහිත වෙනවා. එම නිසා ඔබ සතුව ඇති අසීමිත වගකීම තේරුම්ගෙන කටයුතු කරනවා ඇතැයි මා විශ්වාස කරනවා.

නූතන ජාතියක් සඳහා නවීන අධිකරණ පද්ධතියක් අවශ්‍යයි. අපි එය නවීකරණය කරනවා පමණක් නොව අපි පද්ධතිය පිරිසිදු කරමින් ද සිටිනවා.

එසේම සෑම නීතිමය ලේඛනයක්ම ඩිජිටල්කරණය කිරීමටත්, AI කෘතිම බුද්ධි සහාය ඇතිව නඩු කළමනාකරණය හඳුන්වා දීමටත්, ප්‍රජා පාදක ගැටුම් නිරාකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත් ත්‍රිභාෂාවලින් සේවා සැපයීම මගින් සෑම මට්ටමකින්ම වගවීම සහතික කිරීම හා මහජන සේවයට ගෞරවය නැවත ගෙන ඒමටත් අප පියවර ගනිමින් සිටිනවා.

රටේ ආර්ථික වර්ධනයට ඔබගේ සේවා වපසරියේ දායකත්වය ඉතාමත් වැදගත් වෙනවා. සාධාරණ ආර්ථික අවස්ථාවන් වර්ධනය වන්නේ යුක්තිය ජීවත් වන තැන්වලදී පමණී. සැමට සාධාරණ නීතිය හා සාමය යනු සටන් පාඨයක් නොවේ – එය රටේ පොදු ජීවනාලියයි. නීතිය හා සාමය නැති රටකට ආයෝජන ආකර්ෂණය කර ගත නොහැකියි. ආයෝජකයින් පැමිණෙන්නේ ජනතාව නීති සහ ආයතන පද්ධතිය විශ්වාස කරන විට පමණයි. සමාජය ඉදිරියට යන්නේ තමන්ට සාධාරණ ලෙස සලකනු ඇතැයි ජනතාව විශ්වාස කරන විට පමණයි. යුක්තිය යනු සදාචාරාත්මක අවශ්‍යතාවයක් පමණක් නොවේ. එය ආර්ථික පුනර්ජීවනය සඳහා ද පදනමයි.

වසර ගණනාවක් තිස්සේ, දේශපාලන පත්වීම්, පුහුණුව නොමැතිකම, අල්ලස් සහ යල් පැන ගිය ක්‍රියා පටිපාටි මගින් සාම විනිසුරු පද්ධතිය දුර්වල වීමේ අවදානමක් තිබෙනවා. ග්‍රාමීය හා වතු ප්‍රදේශවල පුරවැසියන් සාධාරණ සේවාවක් ලබා ගැනීමට අරගල කරන අතරතුර, සමහරු සාම විනිසුරු පදවිය සතු අධිකාරිය අනිසි ලෙස භාවිතා කරන අවස්ථා වාර්තා වෙනවා. සාම විනිසුරු පදවියත් ඇතැම්විට පැරණි දේශපාලන සංස්කෘතියේ ගොදුරක් බවට පත්වුනු අවස්ථාවන් ලෙස සලකා එම පද්ධතිය පිරිසිදු කරන්නට උත්සාහ ගන්නවා.

කිසිදු විටක සාම විනිසුරු ක්‍රමය දේශපාලනීකරණය කරන්නේ නැහැ, සාම විනිසුරු පද්ධතියට අවශ්‍ය පුහුණුව සහ යල්පැන ගිය ක්‍රම හා ක්‍රියා පටිපාටිවල ව්‍යාකූලතා විසඳීමට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණ භාවිතය මෙන්ම යහපත් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර සැබවින්ම ජනතාව කේන්ද්‍ර කරගත් යුක්තියේ කුළුණක් බවට ශක්තිමත් කිරීමේ පියවර ගනිමින් සිටිනවා. එම නිසා අද පටන් ඔබේ යුතුකම වන්නේ හුදෙක් රැකියාවක් කිරීම නොවේ. අද, ඔබ නිලධාරියකුට වඩා වැඩි ආදර්ශමත් චරිතයක් බවට පත්වේ. ඔබ යුක්තියේ ආරක්ෂකයකු, ගෞරවයේ ආරක්ෂකයකු සමග පොරොන්දු වූ නව දේශපාලන සංස්කෘතියේ සංකේතයක් බවට පත්වෙනවා. ජනතාව යුක්තියේ පරිශ්‍රයට පිවිසෙන විට හමුවන පළමු නීත්‍යානුකූල දොරටුව වන්නේ ඔබයි. එම නිසා ඔබගේ ජනතාවට යුක්තිය හා සාධාරණත්වය ඉටුවන බව විශ්වාස කිරීමට ඉඩ සලස්වන්න. ඔවුන්ට එය දැනෙන්නට සලස්වන්න. ඔබ ප්‍රශ්නයේ කොටසක් නොව විසඳුමේ කොටසක් බවට පත්ව ධෛර්යයෙන් හා අවංකව සේවය කරන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිසංස්කරණ අංශයේ අධ්‍යක්ෂ තිළිණි ගම්මුනගේ මහත්මිය අදහස් පළ කළ අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

news.lk
Social Sharing
අවකාශය නවතම