පොලිස් පොඩ්ඩන්ගේ අවනඩුව!

රටේ සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ආයතනය පොලීසිය වන නමුත් පොලීසියේ ඉහළ තනතුරු දරන අය කුමන කතා කිව්වත්, පොලිස් පොඩ්ඩන්ට කිසිම සහනයක් නැති බව සමගි බලවේගයේ  කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පහුගියදා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර සිටියේය. මේ වන විට පොලිස් නිලධාරීන්ට අවම සැලකිලි පවතින බවද එහිදී ඔහු පවසා තිබුණි.

වේල්ලවීදිය හා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නිසි කලට, නිසි වෙලාවට පොලිස් පොඩ්ඩන් ටික රැකගත් නිසා ඔවුන්ව  කොරෝනාවෙන්  බේරා ගැනීමට හැකි වූ නමුත් මේ වන විට පොලිසි වල පහළ නිලධාරින්ට PCR පරීක්ෂණ කරන්නේ නැතැයිද ඔහු අනාවරණය කර තිබුණි.

බොරැල්ල පොලිසියේ සියලු දෙනාටම පාහේ කොරෝනා වැලඳී ඇති බව තහවුරු වී ඇත්තේ එහි ස්ථානාධිපතිවරයා විසින් සියලුම නිලධාරීන්ට PCR පරීක්ෂණ සිදු කළ නිසා බවත් ඒ නිසා එම ස්ථානාධිපතිවරයාට මේ වන විට උසස් නිලධාරීන්ගේ දැඩි දෝෂාරෝපනයට ලක් වීමට සිදුව ඇතැයිද මන්ත්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් හෙළි කර තිබුණි.

ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් 700 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී සිටියි. එමෙන්ම තවත් බොහෝ නිලධාරින් පිරිසක් සිටින්නේ නිරෝධායනයට ලක් වෙමිනි. සැබවින්ම මෙය නිරෝධායනයකට වඩා ඔවුන්ට මේ දිනවල රාජකාරියට පැමිණිමෙන් වැලකි බැරැක්කයටම වී සිටින්නැයි ඉහළින් ලැබු නියෝගයකි. මේ නිරෝධායනයට ලක් වෙන පොලිස් පොඩ්ඩන්ට මේ වන විට මුහුණපෑමට සිදුව ඇත්තේ ඉතාම ඛේදජනක තත්වයකට බවට වාර්තා වෙයි.

මේ වන විට මරදාන පිහිටා තිබෙන මහල් දහයකින් සමන්විත තනිකඩ භට නිවස්නයේ මේ වන විට පොලිස් නිලධාරින් 1037 කට වඩා නිරෝධායනයට ලක් කර ඇත. ඒ එම තනිකඩ භට නිවස්නයේ සිටි කිහිප දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් බව හඳුනා ගැනීම නිසාය. පළමු රෝගියා වාර්තා වුයේ පහුගිය 29 දාය. එයද අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණ වලිනි.

මෙම තට්ටු දහකින් සමන්විත ගොඩනැගිල්ලේ එක තට්ටුවකට වැසිකිලි ඇත්තේ අටක් පමණි. නමුත් තට්ටුවටම නිලධාරින් සියයක් පමණ නවාතැන්ගෙන සිටිති. ඒක කාමරයක තුන් දෙනෙකුට වඩා සිටියි. මෙහි සියලුම සනීපාරක්ෂක කටයුතු සිදු කළේ පුද්ගලික සමාගමක් විසිනි. නමුත් මේ මතුව ඇති තත්ත්වය උඩ ඔවුන්ද පැමිණෙන්නේ නැත.

මේ තට්ටුවකින් කොවිඩ් ආසාදිතයින් හමුවුවත් එම තට්ටුවේම නවාතැන් ගෙන සිටින පොලිස් නිලධාරීන්ට PCR පරීක්ෂණ සිදු නොකරන බවත් පරීක්ෂණ සිදු කරන්නේ කාමරයේ සිටින කිහිප දෙනාට පමණක් බවත් වාර්තා වෙයි. නමුත් මේ ආසාදිතයින් භාවිතා කරන්නේ තට්ටුවේ ඇති සෙසු නිලධාරින්ද පාවිච්චි කරන වැසිකිලිය. නාන ස්ථානයන්ය. එසේම එකම මුලුතැන්ගෙයය. එකම කෑම කාමරයය. නමුත් කොවිඩ් ආසාදිත වූ පුද්ගලයෙකු හමු විට ඔවුන්ව  ඔහුගේ ආශ්‍රිතයන් ලෙස සලකන්නේ නැත.  මේ වන විට 4 වෙනි තට්ටුව හා 9 වෙනි තට්ටුව වසා දමා ඇත. ඒ එහි ආසාදිතයින් වැඩි වශයෙන් හමු විමත් සමඟිනි.

සෙසු තට්ටු වල සිටින නිලධාරින් මේ වන විට සිටින්නේ දැඩි මානසික ආතතියකිනි. ඔවුන් පවසන්නේ දිනපතාම පාහේ මේ බැරැක්ක වලින් කොවිඩ් වැලදුන පුද්ගලයින් හමු වන නමුත් තමන්ට මෙතෙක් PCR පරීක්ෂණ සිදු කරන්නේ නැති බවය. එසේ සිදු කළේ නම් තමන්ට කොවිඩ් ආසාදිතද නැත්ද යන්න දැන ගැනීමට හැකියාව තිබෙන බවය.

තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා පැවසූ පරිදිම මේ වන විට බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට පැසසුම් වෙනුවට ලැබෙන්නේ දෝෂාරෝපණය. ඒ වැඩියෙන් ඔහු නිලධාරින්ට PCR පරීක්ෂණ සිදු කළ නිසා පොලිසියෙන්  හමු වන රෝගින් ගණන ඉහළ ගිය බවට චෝදනා කරමිනි.

මේ අතර වැඩබලන පොලිස්පතිවරයා විසින් හදිසි පොලිස් පණිවිඩයක් සියළු පොලිස් නිලධාරීන් වෙත හා නිරෝධායන මධ්‍යස්ථාන භාරව කටයුතු කරන නිලධාරීන් වෙත යවා ඇත. ඒ පණිවිඩය අනුව  ආසාදිත පොලිස් නිලධරයන් රෝහල්ගත කර හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටිය දී සහ ආශ්‍රිත පොලිස් නිලධරයන් නිරෝධායන මධ්‍යස්ථානවල හෝ පොලිස් පරිශ්‍රවල නිරෝධායනය කර ඇති අවස්ථාවක දී එම නිලධරයන්ගේ PCR පරීක්‍ෂණ සිදු කිරීම පිළිබඳව තීරණය කළ යුත්තේ පොලිස් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී විසින් ලබාදෙන උපදෙස් මත පමණක් බව දන්වා තිබේ.

ඒ අනුව පොලිසිය විසින් පාලනය වන රෝහලක, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක හෝ නිරෝධායන මධ්‍යස්ථානයක දී යම් නිලධරයකුට PCR පරීක්‍ෂණ සිදුකිරීම අවශ්‍ය බව මධ්‍යස්ථානයේ යම් නිලධරයකු නිර්දේශ කරන්නේ නම් ඒ සම්බන්ධව පොලිස් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය කාලිංග ගිනිගේ මහතා (071 859 2187) සම්බන්ධ කර ගෙන ඔහුගේ උපදෙස් මත පමණක් සිදුකළ යුතු  බව දන්වා ඇත.

ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය කාලිංග ගිනිගේ මහතා විසින් PCR පරීක්‍ෂණ පිළිබදව සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති රජයේ ප්‍රතිපත්ති අනුව ඒ පිළිබඳව තීරණය කර නිරෝධායන මධ්‍යස්ථානය භාරව සිටින ජ්‍යෙෂ්ඨ නිලධරයා වෙත ඒ පිළිබඳ නිසි උපදෙස් ලබාදිය යුතු බව ඒම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

නමුත් ඔහුට කථා කළ විට පවසන්නේ අවශ්‍ය නම්  සුවසැරිය 1990 ගිලන් රථයට කථා කොට කොළඹ ජාතික රෝහලට යන ලෙසට බව පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදි හෙළිකර තිබුණි.

මේ අතර මෙම මරදාන තනිකඩ භට නිවස්නයේ සිටින නිලධාරින් තවත් ගැටලුවකට මුහුණ දි ඇත. ඒ ආහාර ගැටලුවයි. මේ සමාජයේ නිරෝධායනය වන ජනතාව නිරෝධායන මධ්‍යස්ථාන වලට ගොස් හොඳින් කා බී, ප්‍රධාන ආහාර වේල් තුනෙන් පසුව පළතුරු කා සිටියද මොවුන්ට සිදුව ඇත්තේ වතුරත් සමඟ බත් කෑමට බව ඔවුන් කියා සිටින්නේ දැඩි අප්‍රසාදයෙනි.

දිනපතාම පාහේ මිදුලට දමා වේලා ගන්නා කරවල  සමඟින් අලුකෙසෙල් හා පොල් සම්බෝල ඔවුන්ගේ රජ බොජුන් වී ඇත. මෙම නිලධාරීන් කියා සිටින්නේ තමන් මේ මුහුණ පා සිටින තත්ත්වයට වහා විසඳුමක් අවැසි බවය.

-ශානිකා-

Social Sharing
නවතම