ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට බදු ප්‍රතිපත්තිය ප්‍රධාන හේතුවක් – හියුමන් රයිට්ස් වොච්

කාලයක සිට පැවත එන දුර්වල බදු ප්‍රථිපත්තිය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කඩා වැටීමට ප්‍රධාන ලෙස හේතුවී ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර කෙරෙහි ද බලපෑ සිදු කර ඇති ආකාරය සම්බන්ධ වාර්තාවක් හියුමන් රයිට්ස් වොච් ආයතනය විසින් නිකුත් කර තිබුනි.

දත්ත විශේලේෂණ, ආර්ථික පර්යේෂණ, ආර්ථික විශේෂඥයන් සහ ආර්ථික අර්බුදයට ගොදුරු වූවන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡා 70කින් මෙම වාර්තාව සකස් කර ඇති අතර, එහි ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය සහ සාමාන්‍ය ජන ජීවිතයට එය බලපෑ ආකාරය සම්බන්ධයෙන් විශේලේෂණය කර තිබේ.

මෙම වාර්තාව, දරුවන්ගේ අධ්‍යාපන අයිතියට කරන ලද බලපෑම් කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරමින්, අත්‍යවශ්‍ය සමාජ වියදම් සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීම අඩු කිරීම හරහා ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්ති මානව හිමිකම්වලට බලපා ඇති ආකාරය පරීක්ෂා කර ඇති බව එහි සඳහන් ය.

https://www.hrw.org/sites/default/files/media_2025/10/srilanka1025web.pdf

ආර්ථික අර්බුදය ජනතාවට බලපෑ ආකාරය

ආර්ථික අර්බුදය අතරතුර ශ්‍රී ලාංකිකයන් මිලියනයකට රැකියා අහිමි වූ බවත්, විදුලි ගාස්තු ඉහළ යාමෙන් පසුව නිවාස මිලියනයකට විදුලිය අහිමි වී ඇති බව ද වාර්තාව පෙන්වා දෙයි.

එමෙන් ම මේ හරහා මිලියන 4ක ජනතාවක් දරිද්‍රතා රේඛාවෙන් පහළට තල්ලු කර දමා ඇති බව එය පවසයි.

වාර්තාවේ පෙන්වා දෙන්නේ බදු ප්‍රතිපත්තිවල පැවති ප්‍රතිපත්තිමය අසාර්ථකත්වයන් ජනතාවගේ මානව හිමිකම් කෙරෙහි ද බලපා ඇති බවත්ය.

එමෙන් ම දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් ප්‍රගතිශීලි ලෙස සාක්ෂාත් කරගැනීම සඳහා ප්‍රමාණවත් ආදායමක් ද උපයාගෙන නොමැති බව ද එය පවසයි.

ශ්‍රී ලංකාවේ බදු ආදායම වැඩි වශයෙන් වක්‍ර බදු මත රඳා පැවතීම අයිතිවාසිකම් අඩපණ කිරීමක් බව වාර්තාව පවසයි.

වක්‍ර බදු ගෙවීමේදී ආදායම නොසලකා සෑම කෙනෙකුම එකම බදු අනුපාතයක් ගෙවන බැවින්, පහළ අදායම් ලබන් ආදායමෙන් වැඩි කොටසක් බදු ලෙස අය වීමට ඉඩ තිබේ.

1970 දශකයේ අග භාගයේදී සිට රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් අනුපාතයක් ලෙස ගත් කළ වන කොටස පහත වැටීම, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල අඛණ්ඩව පහත වැටීමට හේතු වී ඇති බවත් 2019 සිදු කළ විශාල බදු කප්පාදුවෙන් පසුව මෙම අනුපාතය පසුගිය වසර කිහිපය තුළ කලාපයේ අඩු ම අගයන් දක්වා පහත වැටි ඇති බව හියුමන් රයිට්ස් වොච් පෙන්වා දෙයි.

2022 ශ්‍රී ලංකාව බංකොලොත් වීම සහ IMF සහය ලබා ගැනීම

2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව ණය ගෙවීම නැවැත්වූ අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.9ක් දක්වා පහත වැටුණු බවත්, ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 114%ක් එනම් මැදි-අඩු ආදායම්ලාභී රටකට සුදුසු නොවන මට්ටමකට පැමිණ තිබූ බව වාර්තාවේ දැක්වේ.

ඉන්පසුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමක් හිමි වූ අතර, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රමාණය අඩු කරගැනීම සඳහා ඉලක්කයක් ද ලබා දෙන ලදී.

වාර්තාව පෙන්වා දෙන්නේ 2024 වසරේ ගෙවීමට සිදුවූ ණය පොලී අනුපාතය ශ්‍රී ලංකාවේ මුළු ආදායමෙන් 57%ක් බව ය.

ශ්‍රී ලංකාව නව ආර්ථික මුල පිරීමක් ආරම්භ කළ 1977දී සෘජු බදු බදු ආදායමෙන් 33% වූ නමුත් 1980 සිට 2018 දක්වා කාලය තුළ සාමාන්‍යය අගය 19%ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

හියුමන් රයිට්ස් වොච් ආයතනය විසින් ලෝක බැංකුව 2024 නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ දිළිඳුභාවය 3.9%කින් වැඩි කිරීමට වැට් බදු ප්‍රතිසංස්කරණ බලපා ඇති බව ය.

තව ද, බහුජාතික සමාගම් තම ලාභයන් විදේශයන්ට ගෙන යාමෙන් බදු මගහරිමින් සිටින අතර, මෙම හිඩැස නිසා ශ්‍රී ලංකාවට සෑම වසරකම ඩොලර් මිලියන 413ක පාඩුවක් සිදු සිදුවන බව ද එම වාර්තා සදහන් වේ.

 

Social Sharing
ආර්ථික නවතම