
පලස්තීනයේ බටහිර ඉවුර ඊශ්‍රාලයට ඈඳා ගැනීම සඳහා ඊශ්‍රායල පාර්ලිමේන්තුව ගත් පියවර ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ගේ දැඩි විවේචනයට භාජනය වී තිබේ.
පලස්තීනයේ බටහිර ඉවුර ඊශ්‍රායලය වෙත ඈඳා ගැනීම සම්බන්ධයෙන් පසුගිය 22 දා එරට පාර්ලිමේන්තුවේ දී සම්මත වූ මූලික කෙටුම්පත මගින් ඇමරිකාවට යම් අපහාසයක් සිදු වූ බවට අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් චෝදනා කර තිබේ.
ඔහු මේ බව පවසා තිබුණේ සිය ඊශ්‍රායල නිල සංචාරය අතරතුර එම කෙටුම්පත සම්මත වීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරමිනි.
බටහිර ඉවුර කිසිසේත් ඊශ්‍රායලයට ඈඳා ගැනීමට අමෙරිකාව ඉඩ ලබා නොදෙන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබූ පසුබිමක මෙවන් සිදුවීමක් වාර්තා වීම ද විශේෂත්වයකි.
පසුගිය බදාදා, අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයන්, පලස්තීනුවන් අපේක්ෂා කරන ස්වාධීන රාජ්‍යයක කොටසක් ලෙස කියා සිටින භූමිය තුළ ඊශ්‍රායල නීතිය ක්‍රියාත්මක කරන පනත් කෙටුම්පතකට මූලික අනුමැතිය ලබා දීමේ සංකේතාත්මක පියවර ගෙන තිබුනි.
ඊශ්‍රායල සංචාරය අවසානයේ මාධ්‍යෙව්දීන් ඇසු පැනයකට පිළිතුරු දෙමින් ජේ.ඩී වැන්ස් පවසා සිටියේ “එය ඉතා මෝඩ දේශපාලන උපක්‍රමයක්” ලෙසය. ගාසා තීරයේ ගැටුම අවසන් කිරීමේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලැස්මට මෙය තර්ජනයක් වනු ඇතැයි රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඊශ්‍රායලයට පියාසර කිරීමට පෙර අනතුරු ඇඟවීය.
මේ සම්බන්ධව ටයිම් සඟරාව ජනාධිපති ට්‍රම්ප් සමඟ සම්මුඛ සාකච්ඡාවක් ද ප්‍රකාශයට පත් කළේය, එහිදී ඔහු අවධාරනය කළේ “මම අරාබි රටවලට මගේ වචනය දුන්නා” ඒ නිසා මේ ඈඳා ගැනීම සිදුවීමට ඉඩක් නැහැ. “මෙහෙම වුණොත් ඊශ්‍රායලයට එක්සත් ජනපදයෙන් ලැබෙන සියලු සහයෝගය අහිමි වෙයි,” ඔහු තවදුරටත් පැවසීය.
