දරුවන් රඳවා තබා ගැනීමට තැනක් නෑ – ස්ථානාධිපතිනියෝ ළමාරක්‍ෂක අධිකාරියට කියති

පොලිස් භාරයට පත්වන භාරකරුවන් නොමැති දරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන තෙක් රඳවා තබාගැනීමට ස්ථානයක් නොමැතිකමින් තමන් දැඩි අපහසුතාවට පත්වන බව කොළඹ නගර සීමාවේ ඇති පොලිස් ස්ථානවල ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියෝ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය හමුවේ කියා සිටියහ.

ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හඳුන්වාදීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති අවස්ථාවේ එම ළමා හා කාන්තා පොලිස් ස්ථානාධිපතිවරියෝ එම ඉල්ලීම කළහ. පොලිස් භාරයට පත්වන භාරකරුවන් නොමැති දරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන තෙක් රඳවා තබා ගැනීමට ස්ථානයක් නොමැති බවද ඔවුහු පැවසූහ.

දරුවන්ට සිදුවන හිංසන සම්බන්ධයෙන් සෙනසුරාදා, ඉරිදා දිනවල රාත්‍රියේ සිය භාරයට පත්වන දැරුවන් අධිකරණ වෛද්‍ය නිලධාරියාට සහ පරිවාස නිලධාරීන් වෙත ඉදිරිපත් කර අනිවාර්යයෙන්ම වාර්තා ලබාගත යුතු බවත්, වාර්තා ලබාගන්නා තෙක් දරුවන් සිය භාරයේ රඳවා ගැනීමට සිදුවන බවත් එම නිලධාරිනියෝ කියා සිටියහ.

සති අන්තයේදී මෙන්ම සවස 4න් පසුවද පරිවාස නිලධාරීන් රාජකාරියේ නොයෙදෙන බව මෙහිදී අනාවරණය විය. හිංසාවට ලක්වන දරුවන් අධිකරණයට ඉදිරිපත් කරන තුරු පොලිස් භාරයේ තබාගැනීමේදී ඇතිවන නීතිමය ගැටලු ගැන බත්තරමුල්ල ළමා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරිය හමුවී සාකච්ඡා කර විසඳුමක් ලබාගැනීමට යෑම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණෙන ලෙස අධිකාරියේ සභාපතිනිය එම කාන්තා පොලිස් නිලධාරිනියන්ට දැනුම් දුන්නාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජාතා ජයරත්න – දිවයින

Social Sharing
නවතම පුවත්