අල ලොරියයි ලුණු ලොරියයි දෙකම රූබිකන් නදියට පෙරලිලා.

අල ලොරියයි ලුණු ලොරියයි දෙකම රූබිකන් නදියට පෙරලිලා

අපි පොඩි කාලෙ යාළුවොත් එක්ක සෙල්ලම් කරද්දි දිව පැටලෙන වාක්‍ය කියන්න කියලා කියනවා. ඒ වගේ කියන එක වාක්‍යයක් තමයි “රතු රටකජු රට රටකජු”.  ඒ වගේම කියන්න පුළුවන් තවත් වාක්‍යක් තමයි “ලූණු  ලොරිය පෙරලුනා. අල ලොරියත් පෙරලුනා”. එක දිගටම කියාගෙන යද්දි දන්නෙම නැතුව දිව පැටලෙනවා. ආණ්ඩු පක්ෂය සහ විපක්‍ෂය යන දෙකම රූබිකන් නදිය තරණය කරන ගමන් තමයි පසුගිය සති කිහිපයේ හිටියේ.  දේශපාලනඥයෝ රූබිකන් නදිය තරණය කරද්දී සාමාන්‍ය දුප්පත් ජනතාවට අල සහ ලූණු ආනයනයට අලුතෙන් වැඩි කරන ලද වැඩි කරන ලද  විශේෂ පාරිභෝගික බද්ධ (Special Commodiy Levy – SCL) හැප්පිලා අල ලොරියයි ලුණු ලොරියයි දෙකම  රූබිකන් නදියට පෙරලිලා.

අල වලට විශේෂ පාරිභෝගික බද්ධ (SCL) රු.80/= දක්වා වැඩි කිරීමත් ලූණු වලට විශේෂ පාරිභෝගික බද්ධ (SCL) රු.60/=  දක්වා වැඩි කිරීමත් කුමන පදනම යටතේවත් අනුමත කරන්න බැරි වැඩක්.

[අලුත් වැඩි වීමට කලින් ලූණු වලට 1kg එක රු.10/= ට සහ අල වලට විශේෂ පාරිභෝගික බද්ධ (SCL) එක රු.60/= තිබුණා කියල තමයි කියවෙන්නේ. කොහොම වුණත් අන්තිමට දැන් තියන ගාන තමයි ලූණු වලට 1kg විශේෂ පාරිභෝගික බද්ධ (SCL) එකට රු.50/= සහ අල වලට 1kg SCL රු. 80/= යි]

දැනට තිබෙන දත්ත අනුව ලංකාවේ දරිද්‍රතා රේඛාවෙන් පහළ ඉන්න ජනගහනය 25% කට ආසන්නයි.  ඒ කියන්නේ එක, දෙක, තුන, හතර කියලා හතර දෙනෙක් ගනන් කරොත් ඒකෙන් එක්කෙනෙක්ට මාසෙකට තමන්ගේ අත්‍යවශ්‍යම ආහාර සහ සෞඛ්‍ය පහසුකම් සඳහා රු. 17,000 සොයාගන්න අපහසුයි කියන එකයි.  එහෙම අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සුන්ට අලවලට වැඩිපුර රු. 80/= ලූනුවලට රු. 60/= බදු ගහලා සාධාරණීකරණය කරන්න පුළුවන් කුමන පදනමෙන් ද?

රු. 320/=  තුන්සිය විස්සට තියෙන අල කිලෝ එකකින් රු. 80/= ක්ම බදු. න් ඒ කියන්නේ ප්‍රමාණයෙන් සමාන අල කෑලි 4ක් කෑවොත් එකක් බදු.  නැත්තං පවුලෙ හතර දෙනෙක් අල කෑවොත් එක් කෙනෙක් කන අල ටික ආණ්ඩුව කාල.

ලූණු වලත් තත්ත්වය ඒ වගේමයි. රු. 170/= තියෙන ලූණු කිලෝ එකකින් රු. 50/= පනහක්ම බදු. ඒ කියන්නේ හතර දෙනෙක් ලූණු කෑවොත් එකෙක් ගේ ලූණු  ආණ්ඩුව අරගෙන.  අල සහ  ලූනු වගේ ආහාරයක් දුප්පත් මිනිස්සුන්ගේ ආහාරයක් මොකද ඒවා කල් තියාගන්න ශීත කරන එතරම් අවශ්‍ය නැති නිසා. මට හිතෙන්නේ අල හොදි, පරිප්පු හොදි, සීනි සම්බෝල වගේ දේවල් ලංකාවේ ජනප්‍රිය වෙන්නත් ඒකත් බොහෝ දුරට එකෙ හේතුවක් වෙන්න පුලුවන්.

LirneAsia ආයතනය කරපු සමීක්ෂණයකට අනුව ආර්ථික අර්බුදයෙන් පසුව ලංකාවේ දුප්පත් රේඛාවෙන් පහළට වැටුණු ජනතාව මිලියන 7ක් සිටි බව සටහන් වෙනවා.  ඒකෙ තේරුම ඉතුරු මිලියන 14 හැමදාම රෑට BMW එකෙන් ඇවිල්ල Jack Daniel ගහල පාටි දානවා කියන එක නෙවෙයි.  උන් ටිකක් ‍යන්නේ ලෙල්ලෙන් ඇල්ටොත් නැතුව.  අමාරුවෙන් නහයට උඩින් වතුර යන එක නවත්තගෙන ඉන්නේ. එහෙම මිනිස්සුන්ට ලූණු වලටයි අල වලටයි 25%  වඩා වැඩිය බදු ගහන එක අනුමත කරන්න අමාරුයි නේද?

ඕක කියපු ගමන්  මේ බදු  සාධාරණීකරණය කරන්න  අරගෙන එන්නේ “බුදු අම්මෝ මේ බදු ගහලා අල ගොවියාවයි ලූනු ගොවියාවයි ආරක්ෂා කරන්න ඕන කියලා.”

ලංකාවෙහි දේශීය අල අවශ්‍යතාවයෙන් සහ ලූනු අවශ්‍යතාවයෙන් ම ලංකාවේ නිෂ්පාදනය කරන්නේය සියයට 36% ආසන්න ප්‍රමාණයක්. 65%  ක්ම ආනයනිකයි.

අල (2021 දත්ත අනුව ආසන්න අගයන් වලට)

👉ලංකාවට වාර්ෂික අවශ්‍යතාවය – 228,000 MT

👉දේශීය නිෂ්පාධනය – 80,000 MT

👉ආනයනික අල ප්‍රමාණය – 148,000 MT

👉ආනයනික අල ප්‍රතිශතය සමස්ථ අවශ්‍යටාවයට සාපේක්ෂව 65%

👉ඒක පුද්ගලයෙ වසරකට ආහාරයට ගන්න අල ප්‍රමාණය = 7.7 kg

👉වගා කර ඇති අල ඉඩම් ප්‍රමාණය (යල සහ මහ කන්න දෙකටම – 2023 දත්ත අනුව) ) 2813 ha

ලූණු  (2021 දත්ත අනුව ආසන්න අගයන් වලට)

👉ලංකාවට වාර්ෂික අවශ්‍යතාවය – 220,000 MT

👉දේශීය නිෂ්පාධනය – 80,000 MT

👉ආනයනික ලූණු ප්‍රමාණය – 140,000 MT

👉ආනයනික ලූණු ප්‍රතිශතය සමස්ථ අවශ්‍යටාවයට සාපේක්ෂව 64%

👉ඒක පුද්ගලයෙ වසරකට ආහාරයට ගන්න ලූණු ප්‍රමාණය = 17.4 kg

👉වගා කර ඇති ලූණු ඉඩම් ප්‍රමාණය (යල සහ මහ කන්න දෙකටම – 2023 දත්ත අනුව) ) 341 ha

👇මේ අල සහ ලූණු සඳහා වගා කර ඇති ඉඩම් ප්‍රමාණය කොතරම් කුඩාද යන්න අප වී සහ කුරුඳු වගා කර ඇති ඉඩම් සමඟ සැසඳීමෙන් අවබෝදයක් ලබා ගන්න පුලුවන්.

වී – 1,317,677 ha

කුරුඳු – 35,134 ha

ඔබට හිතෙන්න පුලුවන් ගොවිමහත්වරුන්ව ආරක්ෂා කරන්න එපා කියලද මේ කියන්නේ කියල. නෑ. ආරක්ෂා කරන්නම ඕන නම් ක්‍රම තියනවා මිනිස්සුන්ට බදු ගහන්නේ නැතිව. නිවැරදිම ක්‍රමය තමයි තරඟකාරීත්වයට මුහුණ දෙන එක. . ගොවියන්ව ආරක්ෂා කරගැනීම වැදගත්.  ගොවි මහත්වරුන් ආරක්ෂා කරගන්න කරන්න තියෙන්නේ ඔවුන්ගේ නිෂ්පාධන වියදම  සලකලා  ආනයනික  ලූණු සහ අල එක්ක තරග කිරීමට අවශ්‍ය පරතරය කෙලින්ම ඔවුන්ට පියවීමයි. එතකොටනේ ගොවියන්ව ආරක්ෂා වෙන්නේ මොකද එතකොට තමයි ඔවුන්ගේ අතට කෙලින්ම මුදල් යන්නේ.   නැතුව වෙළඳපොළේ තියෙනහැම එකටම ලුණු වලට සහ අල වලට රු. 50/=, රු.80/= බඳු ගහැවම  බහුතරයක් ජනතාව ජීවත් වෙන්නේ කොහොමද.  ඒක හරියටම රජතුමාගේ ඇඟේ වහපු මැස්සව මරන්න මැස්සට කඩුවෙන් ගහනවා වගේ වැඩක්.

ලූණු ගොවිමහත්වරුන් ඉන්නේ ආසන්න වශයෙන් 10,000 වගේ ප්‍රමාණයක්.  අර්තාපල් ගොවි මහත්වරුන් කොපමණ ප්‍රමාණයක් ඉන්නවද කියන එක  පිළිබඳව අන්තර්ජාලය දත්ත හොයාගන්න අමාරුයි. . අපි හිතුවොත් ලූණු හා සමාන ප්‍රමාණයක්ම ඉන්නවා කියලා වශයෙන් අපි කතා කරන්නේ ගොවි මහත්වරුන් 20,000 පිළිබඳව.  බොහෝ අය අල සහ ලූණු වගාවන් සමග වෙනත් භෝග වර්ගත් වගා කරනවා විය හැකියි.  ගොවි මහත්වරු 20,000 ආරක්ෂා කරන්න මිලියන 22ක ජනතාවට 25% වඩා වැඩි බදු ගහන එක  සාධාරණීකරණය කරන්න බැරි සමාජවාදයේ හෝ ධනවාදයේ ප්‍රශ්නයක් නෙවෙයි. සාමාන්‍ය දැනීමට මේක ගැලපෙන්නේ නැති නිසා.

ආයෙත් කියනවා ආරක්ෂා කරන්න ඕනම නම් ආරක්ෂා කරන්න එප කියන එක නෙවෙයි කියන්නේ. 20,000ක් ආරක්ෂා කරන්න මිලියන 22ක් දඩු කඳේ ගහන්නේ ඇයි?

ඒ වගේම මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන ගැසට් නිවේදන වලින් දූෂණයක් වෙන්න තිබෙන ඉඩ ප්‍රමාණයක් ඉතාමත්ම වැඩියි.  අල ලූණු වගේ දේවල් වලින් පොඩි අවස්ථාවක් තියෙන්නේ සීනි වගේ ආහාරත් එක්ක සැසඳුවාම කල්තබා ගැනීමේ හැකියාව අඩු නිසා.  නමුත් දළ වශයෙන් අල ලූනු වගේ දේවල් වුනත් මාස එකහමාරත් – මාස දෙකක් අතර ප්‍රමාණයක් ගබඩා කරලා තබා ගන්න පුළුවන් නිසා දූෂණයක් වෙන්න තිබෙන හැකියාවක් නෑ කියල කියන්න අමාරුයි නේද?

කේන්ති  ගන්න එපා කරා කියල නෙවෙයි කියන්නේ කරන්න ඉඩ තියෙනවා කියලා. මේක මම කියන කතාවක් නෙමෙයි.  අන්තර් ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ දූෂණය සහ වංචාව පිළිබඳව සිදුකරපු අධ්‍යයනයේදී (IMF Governance Diagnostic Report)  ප්‍රධාන වශයෙන්ම අවධාරණය කරලා තියෙන්නේ මධ්‍යම රාත්‍රී සිදු කරන ගැසට් නිවේදන හරහා නිකුත් කරන විශේෂ පාරිභෝගික බදු හරහා දූෂණයට විශාල ඉඩක් සැලසෙනවා කියලා.  ඒ වගේම MF Governance Diagnostic Report report එකේ මධ්‍යම රාත්‍රී ගැසට් සෙල්ලම ඉවත් කරන ලෙස නිර්දේශ කරලා තියනවා.  මෙම විශේෂ පාරිභෝගික බද්ධ (SCL) හරහා සීනි බඳු වංචාවක් සිදුවුණා නම් ඒ වගේම ලූණු සහ අල වංචාවක් සිදුවෙන්න  ඉඩක් නැහැ කියල කියන්න අමාරුයි නේද ?

“ලූණු ලොරිය පෙරලුනා අල ලොරියක් පෙරලුනා” කිව්වහම දිව පැටලෙනවා වගේම සමහරු මිනිස්සුන්ට පටලවන්න නිතරම කියන කතාවක් තමයි “ඔච්චර බද්දක් වැඩි කරාට ඒ බද්ද අපිගෙවන්න ඕනේ නැහැ. මොකද අපි පරිභෝජනය කරන්නේ දේශීය ලනේ දේශීය අල, දේශීය ලූණු ඒවට බදු අදින්නෙ නැහැ. අපි ගෙවන්න වෙන්නේ ආනයනික ලුණු සහලවලට විතරයි” කියල.   දිව පැටලෙනවා වගේ ඔය කතාව කිව්වට නිෂ්පාධනය කරන්නේ අවශ්‍යතාවයෙන් 35%ක් විතර නං ඉතුරු 65 % ට අනිවාර්යෙන්ම බදු ගෙවන්න වෙනවා වගේම අඩු මිලට ගන්න තියෙන භාණ්ඩගැනීමට ඉඩ නොදැනීමත් අනිවාර්යයෙන්ම බදු තමයි.  ක්‍රිකට් භාෂාවෙන් කියනවනං LBW කියන්නේ Out. බෝලෙ විකට් එකේ වැදුනේ නැති වුණාට විකට් එකේ වදින්න යන බෝලේ කකුලේ වැදුනම අවුට්.

දැනට පවතින ඒක පුද්ගල අල සහ ලූණු පරිබෝජන දත්ත අනුව එක පුද්ගලයෙක් දැන් තියන තත්ත්වය අනුව අවුරුද්දකට ලූණුවලට වැඩිපුර රු. 900/= කුත් අලවලට වැඩිපුර රු. 640/= කුත් ගෙවන්න ඕන. එක පුද්ගලයෙක්ට අවුරුද්දකට දළ වශයෙන් රු. 1500/=ක් කියන්නේ හතර දෙනෙක් ඉන්න පවුලකට රු. 6000/= ක්.  කාටහරි හිතෙන්න පුළුවන් උඹ මෙච්චර කහින්නේ රු. 6000/= ද මෙන්න ගනිං උඹේ ඔබේ රු. 6000/= කියල.  ප්‍රශ්නෙ තියෙන්නෙ රු. 6000/= ගෙවන්නේ අලවලටයි ලූණු වලට විතරයි. අපි ජීවිත කාලෙදි කන්නේ ලූණුයි විතරක් නෙමෙයි. ආදරේ කරන කාලේ ලුනුයි බතුයි කෑවට තව ගොඩක් දේවල් අපි භාවිතා කරනවා මේ වගේ ලොකු බදු ගහන.

සහල්, සුදුලූණු, සීනි, රතුලූණු, කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා, පාසල් ළමුන්ගේ සපත්තු,  ගෙදර වැසිකිලියට දාන කොමඩ් එක, scotting pan පෑන් එක, wall tile,  floor tiles,  pvc බට,  ගෙවල් හදන්න  ගන්න වයර්, switch, සැමන් වගේ ලයිස්තුවක් මට කියන්න පුළුවන්.  හිතන්න තියෙන්නෙ රු. 6000/= කියන්නේ මහ කජ්ජක්ද කියන එක නෙමෙයි අලවලටයි ලූණු වලට ඒ විතරක් පවුලකට රු. 6000/= යනවනම් ඉතුරු ඔක්කොමත් එකතු නම් කීයක් යනවා ඇද්ද කියලා. අමතක කරන්න එපා. මේ ගණන් අපිට ගෙවන්න වෙන්නෙ පඩියට අයකරන 36% දක්වා වූ උපරිම බදු ද ඇතුළත්ව සේවා අපනයන වලට අදාළ 15% බද්ධත් ඇතුළත්වව බව මතක තබා ගන්න.

මේක ධනවාදීම ආර්ථිකයක්ද, සමාජවාදී ආර්ථිකයක්ද කියන එක පිළිබඳව තර්කයක් නෙවෙයි.  මේක කොල්ලකාරී ආර්ථික ක්‍රමය ඉස්සරහට දාගෙන දේශපාලකයන් රූබිකන් නදිය තරණය කරද්දි ලූණු ලොරියයි අල ලොරියයි තව කී පාරක් රූබිකන් නදියෙන් අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ ඇගට වැටෙනවද කියන එක ගැන ප්‍රශ්ණයක්.

එතකං අපිට දිව පැටලි පැටලි තව එක පාරක් කියන්න බබා ඒක “ලූණු  ලොරිය පෙරලුනා. අල ලොරියත් පෙරලුනා”

-ධනනාත් ප්‍රනාන්දු-

Social Sharing
අවකාශය නවතම