අධිකරණවල ගොඩගැසී පවතින නඩු භාණ්ඩ මෙම වසර අවසානයට පෙර අනිවාර්යෙන්ම නිශ්කාෂණය කළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව, සියලුම දිසා විනිසුරුවරුන්ට සහ මහෙස්ත්රාත්වරුන් වෙත දැනුම් දී තිබේ.
අදාළ අධිකරණවල පරිපාලනමය වගකීම පැවරී ඇති දිසා විනිසුරුවරු හා මහෙස්ත්රාත්වරුන් මෙන්ම, එම අධිකරණවල සේවය කරන අතිරේක දිසාවිනිසුරුවරු (මහෙස්ත්රාත්වරුන් ලෙස කටයුතු කරන) හා අතිරේක මහෙස්ත්රාත්වරු තමන්ගේ අධිකරණයේ පවතින නඩු භාණ්ඩ 2025 දෙසැම්බර් 31 වන දින හෝ ඊට පෙර නිශ්කාෂණය කිරීමේ සෘජු වගකීමට යටත්වන බව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මහාධිකරණ විනිසුරු ප්රසන්න අල්විස් අවධාරණය කළේය.
තමන්ගේ අධිකරණවල පවතින නඩුභාණ්ඩ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන වාර්තාවට පසුව, එක් එක් අධිකරණයේ ගොඩගැසෙන නඩු භාණ්ඩ සම්බන්ධයෙන් අදාළ විනිසුරුවරුන් සහ විනිසුරුවරියන් වගකීමට යටත්වන බව දන්වා සිටි අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා, වාර්ෂික වැටුප් වර්ධක සලකා බැලීමේදී හා ස්ථානමාරු සලකා බැලීමේදී අතිරේක දිසා විනිසුරුවරු (මහෙස්ත්රාත්වරුන් ලෙස කටයුතු කරන) හා අතිරේක මහෙස්ත්රාත්වරුන්ගේ ක්රියාකාරිත්වය දැඩිව සැලකිල්ලට ගන්නා බවද දන්වා සිටියේය.
නඩු භාණ්ඩ පිළිබඳව වන නිවැරදි වාර්තා සැකසීම සහ නඩු භාණ්ඩ නිශ්කාෂණය කිරීම සම්බන්ධව නඩු භාණ්ඩ භාරකරු ප්රමුඛ කාර්ය මණ්ඩලය, ලේඛනාගාර භාරකරු ප්රමුඛ කාර්යාල මණ්ඩලය, රෙජිස්ටාර්වරු ප්රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයේ පුද්ගලික හා සාමුහික වගකීමක් බව දන්වා සිටි අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මහාධිකරණ විනිසුරු ප්රසන්න අල්විස්, මෙම නඩු භාණ්ඩ නිශ්කාෂණය සම්බන්ධයෙන් පවරන රාජකාරි ඉටු නොකරන හා සහාය නොදක්වන කාර්ය මණ්ඩලයේ සියලුම සේවකයන් සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන බවද දන්වා සිටියේය.
දිවයින | ඉෂාර රත්නකාර
