2000 වසරට පෙර උතුරේ සහ දකුණේ අතුරුදහන් වූ බවට පැමිණිලි ලැබී ඇති විමර්ශන කටයුතු ආරම්භ කර නැති දස දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
එසේම අමාත්‍යවරයා කියා සිටියේ හානි පුර්ණ කාර්යාලය සහ අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලය සඳහා නව ක්‍රමවේදයක් අරඹන බවයි.
බලහත්කාරයෙන් අතුරුදහන්වූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනයට සමඟාමීව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සංවිධාන කළ උත්සවයක් අමාත්‍ය, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
එම උත්සවය අමතමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් අදහස් පළ කළේය.

සංවේදී සහ වේදනාබර පරිච්ඡේදයක්
බලහත්කාරයෙන් අතුරුදහන්වූවන් අනුස්මරණය කිරීමේ දිනය, අපගේ ඉතිහාසයේ ඉතා සංවේදී සහ වේදනාබර පරිච්ඡේදයක් නැවත සිහිපත් කරවන දිනයක්. යුද්ධ, අරගල, සහ විවිධ දේශපාලනික අර්බුද හේතුවෙන් තම ආදරණීයයන් අහිමි වූ, ඔවුන්ගේ ඉරණම ගැන කිසිදු තොරතුරක් නොමැතිව වේදනාවෙන් කල් ගෙවන දහස් ගණනක් වූ පවුල් ගැන අප අදත් සිහිපත් කරනවා.
අද මේ රැස්ව සිටින ඔබ අත්විඳින වේදනාවට වචනවලින් අර්ථ දැක්වීමක් දිය නොහැකි බව මම හොඳින්ම දන්නවා. තමන්ගේ සැමියා, දරුවා හෝ සහෝදරයා අහිමි වූණු මවකගේ හෝ බිරිඳකගේ ශෝකය, සදහටම පවතින වේදනාවක්. අද මේ මොහොතේ, ඔබ සමග ඒ වේදනාව බෙදා හදා ගැනීමටත්, ඔබේ දුක්ගැනවිලි පිළිබඳව අපේ අවධානය යොමු කිරීමටත් මම මෙහි සිටින්නේ ඉතා සංවේදී හැඟීමකින් යුතුවයි.
අද මේ රැස්ව සිටින බොහෝ දෙනෙකුට, අතුරුදහන්වීම අතීත සිදුවීමක් පමණක් නොවෙයි. ජීවමානව පවතින තුවාලයක්. හැම උදෑසනකම, ඔබ අවදි වන්නේ “මගේ පුතා කොහෙද? මගේ දුව කොහෙද? මගේ සැමියා, මගේ බිරිඳ, මගේ පියා, මගේ මව කොහෙද? ඔවුන්ට සිදුවූයේ කුමක්ද” යන පිළිතුරු අපේක්ෂාවෙන් පෙළෙන ප්‍රශ්නයක් සමගින්.

අප කෙරෙහි විශ්වාසය තබන ජනතාව තව දුරටත් රැවටිය නොහැකියි
එම නිසා මම මෙය පැහැදිලිව ප්‍රකාශ කරනවා. මෙම දිනය හුදෙක් චාරිත්‍රයකට සීමා කිරීමට අපට ඉඩ දිය නොහැකියි. වසරකට වරක් පමණක් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් ගැන කතා කර, කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන, අපට අප කෙරෙහි විශ්වාසය තබන ජනතාව රැවටිය නොහැකියි.
අප රටේ ඉතිහාසය ප්රචණ්ඩත්වයේ, මර්දනයේ සහ විනාශයේ රැළිවලින් සලකුණු වී තිබෙනවා. මෙම අතුරුදහන් කිරීම් එක් කණ්ඩායමකට පමණක් සීමා නොවී වාර්ගික, ආගමික සහ දේශපාලනික තීරු හරහා ගමන් කළා. දිගු කාලයක් පුරා පැවති සිවිල් යුද්ධයේදී අතුරුදහන් වූ තම ආදරණීයයන් දෙමළ පවුල් තවමත් සොයනවා. දකුණේ කැරලි අතරතුර අතුරුදහන් වූ තරුණයින්ගේ මතකය සිංහල හදවත්වල ලැගුම්ගෙන තිබෙනවා. අවතැන්වීමේ සහ අතුරුදහන්වීමේ කැළැල් මුස්ලිම් පවුල් දරාගෙන සිටිනවා. මේ සියල්ල අප සැමට පොදුවේ අයත්වෙන ඛේදවාචකයක්.
ඒ වගේම අපගේ දේශපාලන ව්‍යාපාරයට ද මෙම අහිමිවීම්වල වේදනාව සමීප බව මම හොඳාකාරවම දන්නවා. අපගේ තරුණ තරුණියන් ක්‍රියාකාරීන්, සිසුන්, කම්කරුවන් දහස් ගණනක් අතීතයේ දී බලහත්කාරයෙන් අතුරුදහන් කළා. මේ නිසා, අපි සත්‍යය, යුක්තිය සහ අතීත මතක ගැන කතා කරන්නේ ක්‍රියාකරන්නේ පිටස්තරයන් විදිහට නොවෙයි.
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් කිසිසේත් අහඹු සිදුවීම් නෙවෙයි. ඒවා අපරාධ. මේ අපරාධ ජීවත්වීමේ අයිතිය, පවුලක් ලෙස එකට සිටීමේ අයිතිය, ගරුත්වය සඳහා ඇති අයිතිය යන මූලික අයිතිවාසිකම් හිතාමතාම උල්ලංඝනය කිරීම් වෙනවා. එම නිසා, රාජ්‍යයේ කාර්යභාරය වන්නේ මේ දේවල් ප්‍රතික්ෂේප කිරීම හෝ ඔවුන් වෙනුවෙන් සිදුකළ යුතු කාර්යයන් ප්‍රමාද කිරීම නොව, පිළිගැනීම සහ ක්‍රියාත්මක වීමයි. ජාතික ජන බලවේගයේ නායකත්වය යටතේ රජය සංහිඳියාව සහ යුක්තිය අපගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ හදවතේ තබාගෙන සිටින්නේ ඒ නිසයි.

සත්‍යය, යුක්තිය සහ හානි පූරණය
අප විසින් සිදුකරන ප්‍රධාන කාර්යන් තුනක් පමණක් මේ අවස්ථාවේ ඉදිරිපත් කිරීමට මම කැමතියි. එනම් සත්‍යය, යුක්තිය සහ හානි පූරණයයි
පළමුව සත්‍යය – සත්‍යය දැන ගැනීමට සෑම පවුලකටම අයිතියක් තිබෙනවා. සත්‍යය යනු රජය විසින් ලබා දෙන තෑග්ගක් නොවේයි. සත්‍ය දැනගැනීම සහතික කළ යුතු ජනතා අයිතියක්. ඒ නිසා අපි සත්‍ය සහ ප්රතිසන්ධාන කොමිසමක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. මෙය දේශපාලනික පොරොන්දුවක් හෝ සංකේතාත්මක සන්දර්ශනයක් නොවේයි. එය ඔබට සවන් දීමට, පිළිගැනීමට සහ පිළිතුරු සැපයීමට නිර්මාණය කර ඇති සියලු දෙනා ඇතුළත්කරගන්නා , විනිවිද පෙනෙනා සහ විශ්වසනීය, වින්දිතයා කේන්ද්‍ර කරගත් යාන්ත්‍රණයක් වන බව අපගේ විශ්වාසයයි.
ඒ වගේම 2000 වර්ෂයට පෙර උතුරේ දී සහ දකුණේ දී අතුරුදහන් වූ බවට පැමිණිලි ලැබී ඇති මෙතෙක් විමර්ශන කටයුතු ආරම්භ කර නැති දස දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අවශ්‍ය අනුමැතිය ලබාදුන්නා. මේ කටයුතුවලට අදාළ ව රුපියල් මිලියන 375 ක් අපි වැය වේයැයි අපේක්ෂා කරනවා.
දෙවනුව යුක්තිය – බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් විසඳිය නොහැකි අභිරහස් නොවේයි. අතුරුදහන් කිරීම් යනු අපරාධයි. යුක්තිය සැමවිටම අපක්ෂපාතී, විශ්වාසනීය සහ සැබෑ විය යුතුයි. අපගේ ජාතියේ ආරක්ෂාව සහ අපගේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් යන දෙකම ආරක්ෂා කරන නීතියක් අපි ඉදිරිපත් කරනවා. බලය වෙනුවෙන් යුක්තිය කිසිදා කැප නොකළ යුතුයි යන ස්ථිර අධිෂ්ඨානයේ අපි සිටිනවාතුන්වැන්න හානිපූරණය – අතුරුදහන්වූවන්ගේ පවුල්වලට අනුකම්පාවට වඩා වැඩි යමක් ලැබිය යුතුයි. ඔවුන්ට පිළිගැනීම සහ ගෞරවය ලැබිය යුතුයි. අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සිදු වූ හානි පූරණය කිරීමට නව ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටිනවා.
නව ක්‍රමය මගින් මෙතෙක් සිදු වූ ප්‍රමාදයන් වළකමින් සහ විනිවිදභාවය තහවුරු කරමින් එක් වරක් ගෙවීම්වලින් ඔබ්බට ගොස් දිගුකාලීන සහයෝගයක් ලබාදීමට හැකිවෙනවා. අධ්‍යාපනය, ජීවනෝපාය අවස්ථා, මනෝ-සමාජ සත්කාර සහ ගෞරවය යථා තත්ත්වයට පත් කිරීම සමඟ සාධාරණ මූල්‍ය වන්දියක් ඇතුළු ඒකාබද්ධ වූ ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවෙනවා. මේ ක්‍රියාමාර්ගවලින් අපි තුවාල සුවපත් කිරීමට පමණක් නොවෙයි, විශ්වාසය, සංහිඳියාව සහ එක් ජාතියක් ලෙස අපගේ අනාගතය ශක්තිමත් කිරීමටත් කැපවෙනවා.

අනුස්මරණයට ඇති අයිතිය තහවුරු කරනවා
එසේම අපි අනුස්මරණයට ඇති අයිතිය තහවුරු කරන අතරම ප්‍රජාවන්ට තම ආදරණීයයන් මතක තබා ගත හැකි, ශෝකවීමට ඇති අවස්ථාවන්ට ගරු කරන සහ අනාගත පරම්පරා සඳහා අතීත පාඩම් සිහිපත්කරන අවකාශයන් සුරක්ෂිත කිරීමටද අවස්ථාව ලබා දී තිබෙනවා. හානි පුර්ණ කාර්යාලය සහ අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාල වෙනුවෙන් එකම ක්‍රමවේදයක් ගෙනඒමට කටයුතු කරමින් තිබෙනවා.
සමාජයක් ලෙස ඉදිරියට යාමට නම්, සංහිඳියාව හුදෙකලා ක්‍රියාවක් පමණක් නොවන බව අප පිළිගත යුතුයි. සංහිඳියාව ක්‍රියාවලියක්. සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට යාමට අවංකභාවය, විශ්වාසය සහ ධෛර්යය රාජ්‍යයෙන්, සිවිල් සමාජයෙන් සහ සමස්ත ප්රජාවන්ගෙන්ම අවශ්‍යයි. ඒ වගේම අපි සංහිඳියාවෙන් යුක්ත අනාගතයක් ගොඩනඟා ගැනීමට නම්, එකිනෙකාට අවලාද නගන වෛරී චක්‍රය බිඳ දැමිය යුතුයි. යාපනයේ දෙමළ කතාකරන මවකගේ වේදනාව මාතර සිංහල කතාකරන මවකගේ හෝ පුත්තලමේ මුස්ලිම් මවකගේ වේදනාවට වඩා වෙනස් වෙන්නේ නැහැ. ඔවුන්ගේ දුක එක හා සමානයි. සත්‍යයට ඇති අයිතිය එක හා සමානයි. ඔවුන්ගේ මාතෘත්වය එක හා සමානයි
අවසාන වශයෙන්, තම ආදරණීයයන් අතුරුදහන් වූ මව්වරුනි, පියවරුණි, සහෝදර සහෝදරියනි, ඔබේ ධෛර්යය අපවත් ධෛර්යමත් කරනවා. ඔබගේ ආදරණීයයන් ඔබට අහිමි වුනත් ඔවුන් වෙනුවෙන් වූ ඔබේ අපේක්ෂාව ඔබ අහිමි කරගෙන නැහැ. කිසිම රජයකට, කිසිම ආයතනයකට කිසිම දීමනාවකට ඔබේ අහිමිවීම පුරවා දැමිය නොහැකියි. නමුත් රජයක් ලෙස අපට ඔබ සමග එකම මගක සහනුකම්පාවෙන් ගමන් කළ හැකියි. ඒ වගේම ඔබ වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට අපි බැඳී සිටිනවා. ඒ අපි ඔබට අනුකම්පා කරන නිසා නෙවෙයි, යුක්තිය ඔබගේ පරම අයිතියක් වන නිසායි.
යුක්තිය උදෙසා වන ඔබේ සටන ඔබේ ආදරණීයයන් සඳහා පමණක් නොවන බව අපි එහි සැබෑ ගැඹුරින් අවබෝධ කරගෙන සිටිනවා. ඔබේ ඒ සටන අපගේ මුළුමහත් ජාතියේම ගෞරවය සඳහා යි. අපි කවුද සහ අපි කවුරුන් විය යුතුද යන්න අපට මතක් කර දෙන්නේ ඔබේ ඒ නොපසුබට උත්සාහයයි.
ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය, සභානායක බිමල් රත්නායක, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆ්ෆර්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිත, Marc –Andre Franche, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති, මහේෂ් කටුලන්ද, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ විධායක අධ්යක්ෂ ජේ.තට්පරන්, CPA ජ්‍යෙෂ්ඨ පර්යේෂක භවානී ෆොන්සේකා, යන මහත්ම මහත්මීන් අදහස් පළ කරන ලදී. අතුරුදහන් වු තැනැත්තන්ගේ ඥාතීන් වෙනුවෙන් දෙනෙකුට අදහස් පළ කිරීමේ අවස්ථාව ලබාදී තිබුණි.
දිනමිණ
