ආරක්ෂක අමාත්‍යංශයෙන් මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් අනාවරණයක්!

මිනිස් වෙළඳාම මූලික කොටගෙන නැගෙනහිර ආසියාතික රටවල ක්‍රියාත්මක වන සයිබර් අපරාධ මධ්‍යස්ථානය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පුද්ගලයන් බලහත්කාරයෙන් යොදවාගෙන ජාවරමක් ක්‍රියාත්මක වන බඅතර ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පුද්ගලයින් 50,000ක පමණ පිරිසක් බඳවා ගැනීමට උත්සහ දරමින් සිටින බවය.

මේ වන විටත් එවැනි සයිබර් අපරාධ මධ්‍යස්ථාන 5ක් ස්ථාපිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ සඳහා පුද්ගලයින් බඳවා ගැනීමට විවිධ ක්‍රමවේදයන් භාවිතා කරමින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සමාජ මාධ්‍ය ඔස්සේ සකස් කරන ලද රැකියා දැන්වීම් ප්‍රචාරණය සිදුවන බව වාර්තා වේ. මේ ආකාරයට ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු පසු ගිය සති කිහිපය තුළ වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන සයිබර් අපරාධ මධ්‍යස්ථාන වෙත යොදවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

මෙරට තුළ රැඳී සිටින පුද්ගලයින්ට අමතරව ඩුබායි හි රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයින් ද මෙසේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් සයිබර් අපරාධ මධ්‍යස්ථානවල රැකියා සඳහා යෙදවීමට කටයුතු කර ඇති බවට තොරතුරු ද මේ වනවිට අනාවරණය වී තිබේ. එමනිසා තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි රටවල රැකියා අවස්ථා ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන දැන්වීම් සඳහා ප්‍රතිචාර දැක්වීමේ දී විශේෂ අවධානයක් යොමුකරන ලෙස ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

Social Sharing
අවකාශය නවතම