
මෙරටින් තුරන් කර ඇති මැලේරියා රෝගය වැළදීමෙන් යාපනයේ පුද්ගලයෙකු ඊයේ දිනයේ (10) මියගොස් ඇති අතර ඒ යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. මෙලෙස මියගොස් ඇත්තේ යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරුට මැලේරියාව වැළදුණු ආකාරය සෙවීම සඳහා සෞඛ්‍ය නිලධාරින් පරීක්ෂණ කීපයක්ම ආරම්භ කොට ඇති අතර වාර්තා වන ආකාරයට එම පුද්ගලයා පසුගිය කාලය තුළ විදෙස් ගත වී නොමැති බවයි. යාපනය ප්‍රදේශයේ මැලේරියා මර්දන කටයුතුවල නිරත වෛද්‍යවරයෙකු පැවසුවේ 2012 වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවෙන් අවසාන මැලේරියා රෝගියා හමුවීමෙන් පසුව එම වසරේම නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව මැලේරියා රෝගයෙන් තොර රටක් බවට ප්‍රකාශයට පත් කළ බවයි.
2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද මැලේරියා රෝගය තුරන් කිරීම සම්බන්ධයෙන් සහතිකයක්ද නිකුත් කර ඇති අතර කෙසේ වෙතත් වන්දනා කිරීම සහ වාණිජ කටයුතු පිණිස ඉන්දියාවට ගොස් ආපසු පැමිණෙන පුද්ගලයින් හරහා ඉන්දියාවේ ඇති මැලේරියා රෝගය මෙරටට රැගෙන එන බවට සැක කරන බවද එම වෛද්‍යවරයා සඳහන් කර ඇත. තවද ඔහු සඳහන් කරන ආකාරයට ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම නිසා ද මැලේරියා රෝගය මෙරටට යළි පැමිණිමට හේතුවක් බවයි.
ශ්‍රී ලංකාවෙන් මැලේරියා රෝගය තුරන් වූ බවට නිවේදනය කිරීමෙන් පසුව මෙසේ රෝගීන් වාර්තා වීම අවදානම් බවයි වෛද්‍යවරු පවසන්නේ මීට අමතරව බංගලාද්ශය, නේපාලය, පකිස්තානය, සුඩානය වැනි රටවලින්ද මෙරටට මැලේරියා රෝගය පැමිනිය හැකි බවත් ඔවුන් හඳුනාගෙන සෙසු පිරිසට රෝගය බෝ වීමට ඇති අවස්ථා අවම කිරීමට පියවර ගෙන තිබෙන බවයි.
