
පෙර වසරේ ජුනි මසට සාපේක්ෂව මෙම වසරේ ජුනි මාසයේ මෙරට ඇඟලුම් අපනයනය 5.2%කින් වර්ධනය වී ඇති බවට වාර්තා වේ. මෙය විශේෂයෙන්ම යුරෝපා සංගම් (EU) වෙළඳපොලේ 23.1% කින්ද, එක්සත් රාජධානියේ (UK) 20.4% කින්ද පෙන්නුම් කරන ලද කැපී පෙනෙන වර්ධනයන් හේතුවෙන් සිදුවී ඇත. තවද එක්සත් ජනපදයට -5.7% සහ අනෙකුත් කලාපවලට -9.3% අපනයන අඩුවීමක් වාර්තා වී ඇත.
2025 වසරේ මුල් භාගය එනම් ජුනි මස දක්වා සමස්ත අපනයන, වසරින් වසර 8.95% කින් ඉහළ ගොස් ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ යුරෝපා සංගමය (+16.7%), එක්සත් ජනපදය (+4.1%), එක්සත් රාජධානිය (+6.4%) සහ අනෙකුත් වෙළඳපලවල් (+8.9%) හි ශක්තිමත් ක්‍රියාකාරිත්වයයි.
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන්නේ මෙම සංඛ්‍යා යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය වැනි ප්‍රධාන වෙළඳපලවල දිරිගන්වනසුලු ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි. ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය උපායමාර්ගික විවිධාංගීකරණය සහ ශ්‍රී ලංකා ඇඟලුම් කෙරෙහි ගැනුම්කරුවන්ගේ අඛණ්ඩ විශ්වාසය හේතුවෙන් ඔරොත්තු දීමේ හැකියාව සමඟින් ඉදිරියට යන බව JAAF තවදුරටත් අවධාරණය කරයි.
