
ඇමරිකාව විසින් යුරෝපා සංගමයට පැනවූ අපනයන බදු 15% දක්වා අඩු කිරීමට අමෙරිකාව එකඟ වී ඇත. ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන්ඩර් ලේයන් අතර ස්කොට්ලන්තයේදී පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.
මින් පෙර ඇමෙරිකාව විසින් යුරෝපා සංගමය වෙත 30%ක තීරුබදු පනවන බවට දැනුම්දුන් අතර, යුරෝපා සංගමයද ඩොලර් බිලියන 109ක ප්‍රතිප්‍රහාරාත්මක තීරුබදු පැනවීමකට සූදානම් විය.
ස්කොට්ලන්තයේ දින 5ක කෙටි සංචාරයක නිරත ඇමෙරිකානු ජනාධිපතිවරයා යුරෝපා කොමිසමේ සභාපතිනිය හමුවීමෙන් පසුව කියා සිටියේ ,”අපි ගිවිසුමකට එළඹුණා. එය සැමට හොඳ ගනුදෙනුවක්, වනු ඇති බවයි”. එමෙන්ම මෙම ගනුදෙනුව යුරෝපා සංගමය සහ ඇමෙරිකාව තවත් සමීප කරවනු ඇති බවද ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කර ඇති අතර මෙම ගිවිසුමට අනුව ඇමෙරිකාවේ ඇතැම් භාණ්ඩ සඳහා තීරු බදු රහිතව යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 සඳහා අපනයනයට එකග වී තිබේ.
මේ අතර ජනපති ට්‍රම්ප් බ්‍රිතාන්‍ය, ජපානය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ වියට්නාමය සමඟ තීරුබදු ගිවිසුම් ඇති කර ගෙන ඇති නමුත් දින 90කින් ගනුදෙනු 90ක් යන මොහුගේ ඉලක්කය සපුරා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
