ජනමාධ්‍යවේදීන්ට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන හැඳුනුම්පත නොමැතිව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දෙන මාධ්‍ය සාකච්ඡාවට සහභාගීවීමට ඉඩ නොදෙන බවට ජනමාධ්‍ය අමාත්‍යවරයා කළැයි කියන ප්‍රකාශයකින් පසු මේ වන විට ඒ ගැන ලොකු කතා බහක් ඇතිවී තිබේ. කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදී ජනමාධ්‍යවේදීන් ප්‍රශ්න අහන ක්‍රමය අනුව මෙම තත්ත්වය උද්ගතවූ අතර ඒ ගැන විවිධ පිරිස් විවිධ මත පලකරති. මේ මත පලකරන ඇතැම් ජනමාධ්‍යවේදීන්යැයි කියා ගන්නා උදවියගේ අතීත මාධ්‍ය භාවිතාව බැලුවොත් ඔවුන් ඇත්තටම කර ඇත්තේ ජනමාධ්‍යකරණය ද එසේ නැතිනම් කුලියට ලියන එකදැයි වටහා ගැනීමට අපහසු නොවනු ඇත.
කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ප්‍රශ්න ඇසීම සහ මෙම හැදුනුම්පත අතර සෘජු සම්බන්ධයක් මට නොපෙනේ. මෙම හැදුනුම්පත නිකුත් කිරීමේ ක්‍රියාවලිය ගැන ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් පසු ලොකු කතා බහක් ඇතිවුවද, මේ ගැන අපි කතා කරන්නට පටන් ගත්තේ මීට වසර ගණනාවකට පෙරදීය. මේ සමග ඇති ඡායාරූපයේ දැක්වෙන්නේ මෙම ගැටලුව ගැන මීට වසර 09කට පෙර මාගේ 2015 සහ 2016 හැදුනුම්පත් දෙක පෙන්වමින් එය විස්තර කළ ආකාරය දැක්වෙන ඡායාරූපයකි. මෙය 2016 වසරේදී ඩේලී එෆ්ටී ඇතුළු පුවත්පත් කිහිපයකත්, වෙබ් අඩවිකිහිපයකත් පල විය.
ආණ්ඩුවෙන් ජනමාධ්‍යවේදීන්ට හැදුනුම්පතක් නිකුත් කිරීමේ ඇති ගැටලුව ගැන දීර්ඝ ලෙස සාකච්ඡා පැවැතිය ද ඒ කාලයේ දී වැඩි දෙනෙක් ඒ ගැන කතා බහ කළේ නැත. එපමණක් නොවන ප්‍රවෘත්ති වෙබ් අඩවි ලියාපදිංචිය සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ නිශ්කාශන වාර්තා ලබා ගැනීම ගැන පවා අපි ප්‍රශ්න කරද්දී, මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර විභාගය යද්දී බොහෝ දෙනෙක් නිශ්ෂබ්ධව සිටියහ. ඒ ප්‍රශ්නය තමාගේ නොවනතාක් එය තමාට අදාල නැති වීම සහ ඇතැම් ජනමාධ්‍යවේදීන් තරුණ ජනමාධ්‍යවේදීන් ගැන දක්වන උද්දච්ඡ ආකල්පය නිසාය.
ඇත්තටම කැබිනට් තීරණ දැනුම්දෙන මාධ්‍යහමුවලට ගොස් ප්‍රශ්න අසන අති බහුතරයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරන හැදුනුම්පත දරන්නෝ වෙති. මේ දෙක අතර සෘජු සම්බන්ධයක් නොමැති බවට මා මුලින් සඳහන් කළේ ඒ නිසාය. හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන සුදර්ශන ගුණවර්ධන පවා මේ සම්බන්ධයෙන් කමෙන්ට් කරනු මම දිටිමි. මෙතරම් කාලයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ හැදුන්මපත් දැරූ සියලු දෙනා ජනමාධ්‍යවේදීහුද? එය එසේ නොවන බව සුදර්ශන හොඳින්ම දැනගෙනත් ඔහු කමෙන්ට් කරන ආකාරය ගැටලු සහගතය.
2024 වසරේ අග වන විට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වලංගු හැදුනුම්පතක් අතැතිව සිටි ගණන 8100කට ආසන්න වේ. එය අතැතිව සිටි බහුතරයක් දෙනා ඇත්තටම ජනමාධ්‍යවේදීහු හෝ ජනමාධ්‍ය ආයතනවල වැඩ කරන පිරිස් හෝ නොවෙති.
හමුදාවේ සේවය කරන පිරිසකට, පොලිසියේ සේවය කරන පිරිසකට, බුද්ධි අංශවල වැඩ කරන පිරිස් වෙත පවා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හැදුනුම්පත් නිකුත් කර තිබිණි. දළදා මාලිගාවට ද එලෙස හැදුනුම්පත් සැලකිය යුතු සංඛ්‍යාවක් නිකුත් කර තිබිණි. අමාත්‍යංශවල වැඩ කරන අතෑම් සංවර්ධන නිලධාරීන්ට, අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන්ට, ජනාධිපති මාධ්‍ය අංශයේ වැඩ කරන පිරිසට, ඇතැම් නළුවන්ට පවා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ කියන හැදුනුම්පත නිකුත් කර තිබිණි. ඔවුහු වෘත්තීය ජනමාධ්‍යවේදීහු නොවෙති. ජනමාධ්‍යවේදීන් නොවන පිරිස මෙමෙ හැදුනුම්පත් අරගෙන කළේ කුමක්ද? ජනමාධ්‍යවේදීන් නොවන මෙම පිරිසට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හැදුනුම්පත් නිකුත් කර ඒ මත ලබා දුන් වෙනත් වරප්‍රසාද මොනවාද යන්න අනිවාර්යෙන්ම සොයා බැලිය යුතුය.
වර්තමාන ජනාධිපතිවරයා සිරස සටන වැඩසටහනට පැමිණ ශ්‍රී ලංකාවේ යුද හමුදා කඳවුරකින් ගිනි අවි හැත්තෑ ගණනක් පන්නා ඇති බව ප්‍රකාශ කළේය. එලෙස පැන්නවූ ගිනිඅවි කොළඹට ගෙන ඒමට උදව් කළායැයි කියන සමහරු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ හැදුනුම්පත දරන්නෝ වූහ. එම හැදුනුම්පත තිබූ එක් ජනමාධ්‍යවේදියෙක් යැයි කියාගන්නා පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ පවා සිටියේය. තවත් කෙනෙක් රටින් පලා ගිය බව වාර්තා විය. වෛද්‍ය සාෆි ශිහබ්දීන් ඉලක්ක කරගෙන දේශපාලන උවමනාමත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්ගේ ජාතිවාදී යාන්ත්‍රණයට පන පෙව්වෙ මෙම හැදුනුම්පත ඇති පුදගලයන්ය. කොරෝනා මාර්ගෝපදේශ නොතකමින් මහා පරිමාන ප්‍රසංක පැවැත්වූයේ ද මෙම හැදුනුම්පත අතැතිවය. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ ජනමාධ්‍ය හැදුනුම්පත අතැතිව ආයුධ ගනුදෙනු කරද්දී, පාතාලයට උදව් කරද්දී, ජාතීවාදය වපුරද්දී, නීති රීති උල්ලංඝනය කරද්දී මුණිවත රැක සිටි පිරිස් දැන් අවදි වී සිටිති.
මෑත කාලීනව සිටි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගෙන් රජයෙන් හැදුනුම්පතක් නිකුත් කිරීමේ ගැටලුව ගැනත්, එය අන්තර්ජාතික ප්‍රමිතීන්ට නොගැලපෙන බවත් ප්‍රකාශ කළේ එක් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයකු පමණි. ඒ රංග කලංසූරිය පමණි.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ජනමාධ්‍ය හැදුනුම්පත නොමැති ජනමාධ්‍යවේදීන්ට කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට පැමිණීමට ඉඩ දිය නොහැකි බවට වූ ප්‍රකාශය අමාත්‍යවරයා සිදු කළේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රශ්න ඇසීමේ විලාසය නිසාය. මේ ගැන කතා කරන ජනමාධ්‍යවේදීන් නොවන ඇතැම් පිරිස් මීට පෙර පැවැති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡා නරඹා නැති සැටියක් පෙනේ. මෙලෙස ප්‍රශ්න කරද්දී උත්තර දීමට නොහැකිව ඇතැම් අමාත්‍යවරුන්ට (කැබිනට් ප්‍රකාශකලාට) කේන්ති ගොස් බැණවැදුණු අවස්ථා පවා තිබේ.
රජයේ අමාත්‍ය මණ්ඩලය ගන්නා තීන්දු තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදී ජාතික වැදගත්කමක් සහිත ප්‍රශ්න පමණක් විමසිය යුතු බව සැබෑය. මෙම මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කරන ඇතැම් ප්‍රශ්න එම මාධ්‍ය හමුවේදී ම ඉදිරිපත් කිරීමට හේතුව ඒවා අදාලවන ඇතැම් අමාත්‍යවරුන් හෝ ආයතන ප්‍රධානීන් ඒවාට පිළිතුරු නොදී මග හැරීම නිසාය. ජනමාධ්‍යවේදියකුට යම් කරුණක් ගැන සෘජුව ප්‍රශ්නය පමණක් යොමු කිරීමට හැකි අවස්ථා තිබේ. එසේම එලෙස ප්‍රශ්නය පමණක් යොමු කිරීමෙන් පදනමක් නොමැති විට ඊට අදාල පසුබිම් කරුණු සමග ප්‍රශ්නය යොමු කළ යුතු අවස්ථා තිබේ. ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දෙන පුද්ගලයාට පිළිතුරු දිය හැක්කේ ද එම ප්‍රශ්නයේ පදනම දැන ගැනීමෙන් පසු පමණි. ප්‍රශ්නයක් අහද්දී ඊට අදාල කරුණු කීම සහ ජනමාධ්‍යවේදියාගේ මතය කීම යනු දෙකකි. පසුගිය කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවලදී ජනමාධ්‍යවේදීන් කරුණු මත ප්‍රශ්නය විමසන්නේ නැතිව තමන්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් පෙනී යන්නේ අන් කිසිවක් නොව, කිසිම වෘත්තීය භාවයක් නොමැති පිරිසකට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ජනමාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර ඇති බවපමණි.
ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රකාශන අවකාශය මේ වන විට වඩාත් පුළුල් වී තිබේ. පුවත්පත්, රේඩියෝ, ටෙලිවිෂන් සහ වෙබ් අයන අවකාශවලින් ඔබ්බට ගොස් ඔවුන්ගේ ප්‍රකාශන වේදිකාව යූටියුබ්, ෆේස්බුක්, ටික්ටොක් වැනි සාමජ මාධ්‍ය දක්වා පුළුල්වී තිබේ. සමහර රටවල ෆේස්බුක් ජර්නලිසම් ගැන , ටික්ටොක් ජර්නලිසම් ගැන පාඨමාලා තිබේ. ෆේස්බුක්, යූටියුබ්, ටික්ටොක් භාවිත කරන සියලු දෙනා ජනමාධ්‍යවේදීන් බව එයින් අදහස් නොවේ. පත්තරයක් ගත්විට පත්තරයේ පලාපල තීරුවක් තිබිය හැකිය. එම පලාපල තීරුව ලියන ජෝතිර්වේදියා ජනමාධ්‍යවේදියෙක් නොවේ. පත්තරයක දේශපාලකයකු විසින් ලියන කොලම් එකක් තිබිය හැකිය. එම කොලම් එක ලියන දේශපාලකයා ජනමාධ්‍යවේදියෙක් නොවේ. රූපවාහිනියේ පෙනී සිටින සියලු දෙනා ද ජනමාධ්‍යවේදීහු නොවෙති. යූටියුබ් හෝ වෙනත් සමාජ මාධ්‍යකද එසේමය. ඒවායේ පෙනී සිටින සියලු දෙනා හෝ තම මත ඉදිරිපත් කරන සියලුම දෙනා හෝ ජනමාධ්‍යවේදීන් වන්නේ නැත.
ජනමාධ්‍යවේදීන් ප්‍රශ්න අසන ආකාර ඔවුන්ගේ වෘත්තියභාවය මත රඳවා පවතී. සාෆි ගැන වාර්තා කිරීම්, රතුපස්වල වෙඩි තැබීම ගැන වාර්තා කිරීම්, අපරාධ ගැන වාර්තා කිරීම්, පාතාල කතා වාර්තා කිරීම් අධ්‍යයනය කළහොත් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය ගැන සිතාගත හැකිවනු ඇත. වෘත්තීය භාවය මැණිය හැක්කේ ප්‍රශ්න අසන ක්‍රමය මතම පමණක් ම නොවේ. කළ යුත්තේ ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තිය භාවය නගා සිටුවීමය. එසේ නොකර වෙනත් තීන්දු ගැනීමක් පලක් වන්නේ නැත. ප්‍රශ්නවලින් ලිස්සා යෑමට ජනමාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරීමද පිළිතුරක් නොවේ. ලිස්සා යා නොහැකි ප්‍රශ්න අසන බොහෝ දෙනෙක් සතුව ද මේ කියන ජනමාධ්‍ය හැදුනුම්පත පවතී.
ජනමාධ්‍ය හැදුනුම්පතේ ගැටලුව ගැනත්, එම හැදුනුම්පතට නීතිමය වලංගු භාවයක් නොමැති වීම ගැනත් මේ අවස්ථාවේ අදහස් දක්වන්නේ නැත. ඊට හේතුව ඒ සම්බන්ධයෙන් අප විසින් මානව හිමිකම් කොමිසමට කරනු ලැබූ පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් පසු ඔවුන්ගේ තීන්දුව ලබාදීමට නියමිතව ඇති හෙයිනි.