කොවිඩ් ව්‍යාප්තිය මත බිඳ වටෙන ඇඟලුම් කර්මාන්තය සහ රටේ ආර්ථිකය

රට තුළ සාර්ථකව පාලනය කර තිබූ COVID 19 වසංගතය නැවත වතාවක් පැතිර යාමේ සිද්ධියත් සමග ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳ කතාබහක් රට තුළ ඇතිව තිබේ. ඇඟලුම් කර්මාන්ත අංශය තුළ පවතින සෞඛ්‍ය ගැටළු, සේවක කළමනාකරණය ආදී ගැටලු මෙහිදී වැඩි අවධානයකට ලක් ව ඇත.

ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකා ආර්ථිකයට දක්වන දායකත්වය විමසා බලන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැඩිම අපනයන දායකත්වයක් ලබාදෙන කාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රයක් වශයෙන් ඇඟලුම් කර්මාන්තය වැදගත් වේ.

1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සමඟ මෙරට ඇඟලුම් කර්මාන්ත අංශය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්තා අනුව ඇඟලුම් අංශය රටේ සමස්ත විදේශ විනිමය ඉපයුම් සඳහා දක්වන දායකත්වය 40%ට වැඩි අගයක් වේ.

2019 වසරේ ශ්‍රී ලංකාවේ වාර්තාගත ලෙස එක්සත් ජනපදය මිලියන 5.3 ඇඟලුම් අපනයනය තුළින් උපයා ඇත. ශ්‍රී ලංකාවේ කටුනායක, බියගම, කොග්ගල යන නිදහස් වෙළඳ කලාප මුල්කරගෙන කර්මාන්තශාලා 270 – 300 ක් අතර ප්‍රමාණයක් පිහිටුවා තිබේ. මාස් හෝල්ඩිංග්ස්, බ්‍රැන්ඩික්ස් ලංකා ස්මාර්ට් ෂර්ට් ලිමිටඩ්, හයිඩ්‍රාමනී, මැලිබන් ටෙක්ස්ටයිල්ස් මෙරට ප්‍රමුඛතම රෙදිපිළි අපනයන සන්නාම කිහිපයකි.

සංඛ්‍යාලේඛන දත්ත අනුව ඇඟලුම් ක්ෂේත්‍රය ආශ්‍රිතව නම ලක්ෂ අනූ දහසකට අධික පිරිසක් මේ වන විට රැකියාවන්හි නිරත වන අතර එය ශ්‍රී ලංකාවේ මුළු ශ්‍රම බලකායෙන් 15% කි. එසේම එම රැකියාවල නිරත වන පිරිසෙන් 80% ක් කාන්තාවන් ය.

දැනටමත් රට තුළ පවතින ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් කර්මාන්ත ශාලා 150ක් පමණ සංඛ්‍යාවක් නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇත. මෙරටේ ප්‍රධාන විදේශ විනිමය ඉපයුම් මූලාශ්‍ර වන සංචාරක හා විදේශ රැකියා වැනි අනෙකුත් අංශ COVID-19 වසංගතය හේතුවෙන් දැඩි ලෙස අර්බුදයට පත්ව ඇති අවස්ථාවක ඇඟලුම් ක්ෂේත්‍රයේ දායකත්වය ද අහිමිව ගිය හොත් එය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් කරනු ඇත. දැනට මතුව ඇති තත්ත්වය තුළ ඇඟලුම් කර්මාන්ත අංශය ආශ්‍රිත සෘජුව මෙන්ම වක්‍ර රැකියාවල නිරතවන්නන්ට ආදායම් අහිමි වීමේ අවදානමක් පවතී.

මේ අනුව කාලයක් පුරා ඇගළුම් කර්මාන්ත අංශය ආශ්‍රිතව විවිධ ගැටළු විශේෂයෙන් සේවක සුභසාධනය සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී අවස්ථා මතු වී තිබුණ ද එමගින් විදේශ අපනයන කෙරෙහි සහ ශ්‍රම වෙළඳපොලේ රැකියා අවස්ථා බිහි කිරීම කෙරෙහි දක්වන දායකත්වය සලකා බලන විට ඇඟලුම් කර්මාන්තය බිඳ වැටීම ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි දරුණු බලපෑම් ඇති කරනු ඇත.

එහෙයින් මෙම කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටළු නිසි ආකාරයෙන් කළමනාකරණය කොට ගෙන එහි නිෂ්පාදන ධාරිතාව තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි රජයේ සහ අදාළ බළධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

සටහන : යශෝධරා වීරසිංහ

Social Sharing
නවතම