ලංකාවේ අල්ලස් දූෂණ වැළැක්වීමට දකුණු කොරියාවේ සහාය…

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට විවිධ වැදගත් නීති එක් වූ අතර තවත් පනත් කෙටුම්පත් කිහිපයක්ද විවාධයට ගනිමින් තිබේ. ඒ නීති අතුරින් මෑත කාලයේ සම්මත වූ දූෂණ විරෝධී පනත සුවිශේෂී ය. පුරවැසියාගේ සිට රාජ්‍ය අංශයේ ද පෞද්ගලික අංශයේ ද සිදුවන දූෂණ,වංචා සහ අල්ලස් සිදුවීම් වලට වැට බැඳීමට මෙම නීති හරියාකාරව ක්‍රියාත්මක කරවීම සිදු කළ යුතුය.

දකුණු කොරියාවේ දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ උප සභාපති සහ මහලේකම් චුං ස්යුං-යුන් (Chung Seung-yun) මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු දූත පිරිසක් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූ අවස්ථාවේ දී චුං ස්යුං-යුන් මහතා පවසා සිටියේ පසුගිය වසරේ ශ්‍රී ලංකාව තුළ සම්මත වූ දූෂණ විරෝධී පනත ඉතා ශක්තිමත් පනතක් බවයි.

මේ අතර, අල්ලස් හා දූෂණ වැළැක්වීම සඳහා දකුණු කොරියාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන සඳහා අඛණ්ඩතා තක්සේරු කිරීමේ ක්‍රමය (Integrity Assessment System) ශ්‍රී ලංකාව තුළ හඳුන්වාදීම සඳහා සහාය දීමට තමන් සූදානම් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සම්මත වූ දූෂණ විරෝධී පනත සම්පූර්ණයෙන්ම ස්වාධීන වන අතර ඒ අනුව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ස්වාධීනව කටයුතු කිරීමට හැකි වන බවයි. එමෙන්ම සහාය දක්වන අනෙකුත් රටවල් සමඟ එක්ව මෙය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද කථානායකවරයා පැවසීය.

මෙයට අමතරව, දකුණු කොරියාවේ දූෂණ විරෝධී නීතියේ ක්‍රියාවලිය, විමර්ශන කටයුතුවල ස්වභාවය පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් මෙරට ජනතාව අතර දැනුවත් බව වැඩි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මෙම හමුවේ පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්වරු සහභාගී වූහ.

එමෙන්ම, දකුණු කොරියාවේ දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ අධ්‍යක්ෂ ලී බියම් සියෝක්, නියෝජ්‍ය අධ්‍යක්ෂ මූන් ජොන්ග්පිල්, සහකාර අධ්‍යක්ෂ ලී කා යොන්, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම්.ආර්.වයි.කේ. උඩුවෙල සහ ඩබ්ලිව්.එම්.ඩී.ටී. බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද මෙම හමුවට සහභාගී වූහ.

     

Social Sharing
ආර්ථික නවතම පුවත්