සුබසාධන කටයුතුවලට දේශපාලන බලපෑම් මින් මතු නෑ..! ජයන්ත විජේරත්න

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය යනු කුමක්ද? එයින් රටට ලැබෙන ප්‍රයෝජන මොනවාද, අස්වැසුම වැනි සුබසාධන කාර්ය සඳහා මෙම මණ්ඩලය හරහා ලබා දෙන පහසුකම් සැලසීම කෙසේද? මෙම මණ්ඩලය අවශ්‍ය කරනු ලබන දත්ත සහ සමීක්ෂණ සුබසාධන කාර්ය සඳහා යොදා ගන්නේ කෙසේද? යන්න පිළිබඳව එම මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

 

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියන්නේ මොකක්ද ?

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පිහිටුවනු ලැබුවේ 2002 වර්ෂයේදීයි. ඒ සඳහා පාර්ලිමේන්තු පනතක් මඟිනුයි මෙම මණ්ඩලය පිහිටුවනු ලැබුවේ. සමාජ සුබසාධනය සහ ඒ සුබසාධන කටයුතු පිළිබඳව සියලු දත්ත වාර්තා ඇති එකම ස්ථානය විදිහටයි මේ මණ්ඩලය පිහිටුවීමේ අරමුණ බවට පත්වෙලා තිබෙන්නේ. ඇත්තෙන්ම අපේ ආයතනය තමයි සුබසාධනය පිළිබඳව තිබෙන රාජ්‍ය වගකීම සහිත එකම ආයතනය. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු කරනු ලබන්නේ ජාතික ප්‍රතිපත්තියක් තිබෙන ආයතනයක් විදිහටයි. ඇත්තෙන්ම අද වන විට ලක්ෂ හතළිහක් පමණ පිරිසක් සුබසාධන ප්‍රතිලාභ අවශ්‍ය පිරිස් විදිහට අප සංගණනය කර තිබෙනවා. ඇත්තෙන්ම අපේ රටේ සුබසාධන කටයුතු පිළිබඳව දීර්ඝ කාලීන ඉතිහාසයක් තිබුණ ද එම සුබසාධන කටයුතු නිසි විදිහට ප්‍රමිතියක් ඇතිව විද්‍යාත්මක විදිහට සිදු කිරීමක් වුණේ නැහැ. ඒ නිසා සිදු වූ දේ තමයි සුබසාධන කටයුතු සිදුවුණ ද ඒවා නිසි විදිහට ලැබිය යුත්තන්ට ලැබෙන විදිහට ක්‍රියාත්මක වුණේ නැහැ. එහෙත් මේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මඟින් සුබසාධන ප්‍රතිලාභ නිසි තැන්වලට නිසි පුද්ගලයන්ට ලැබෙනවාද යන්න සලකා බලා කටයුතු කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

අද වන විට සියලු සමාජ සුබසාධන කටයුතු සිදු කරනු ලබන්නේ අප මණ්ඩලය මඟින් ලබා දෙන දත්ත අනුවයි. අප සතුව තමයි අවශ්‍ය දත්ත පදනම නැතිනම් ඩේටා බේස් එක තිබෙන්නේ. ඒ විදිහට දත්ත එකතු කර ගැනීම සඳහා අපට පසුගිය කාලයේදී විශාල වෙහෙසක් දැරීමට සිදුවුණා. අලුත් වැඩසටහන් මඟින් මේ දත්ත ක්‍රමවේදය ආරම්භ කර තිබෙනවා.

 

සමාජ ආරක්ෂණ පද්ධතියක් ඇති කිරීමේ වැදගත්කම ගැන ඔබේ අදහස කුමක්ද?

සමාජ සුබසාධන කටයුතු කියන්නේ ලෝකයේ සියලු රටවල සිදු කෙරෙන ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලියට යොදවනු ලබන්නේ මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල්. ඒ නිසා ඒ මුදල් නිසි විදිහට යෙදවීම කළ යුතුයි. ලැබෙන සෑම සතයක්ම ප්‍රතිඵලදායක සුබසාධන වැඩකට යොදා ගැනීමට හැකියාව තිබිය යුතුයි. ඒ සඳහා වූ වැඩපිළිවෙළක් ඇති කිරීම ඉතාමත් වැදගත් වැඩපිළිවෙළක් පමණක් නොවෙයි දැන් ස්වාධීනව අවශ්‍ය පිරිස් වෙත ප්‍රතිලාභ ලැබෙන බව සමාජ සුබසාධන පද්ධතියක් ඇති කිරීම මඟින් තහවුරු කර ගැනීමට හැකියාව තිබෙනවා.

 

සමාජ සුබසාධන පද්ධතිය වෙත ලියාපදිංචි වන්නේ කොහොමද?

සමාජ සුබසාධනය සඳහා වූ වැඩසටහන් ලියාපදිංචි කිරීම අංග විසි දෙකක් යටතේ ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ සඳහා නිර්ණායක විසි දෙකක් තිබෙනවා. ඒ නිර්ණායක මත තමයි මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ලබන්නේ. මේ විදිහට ලියාපදිංචි වීම සඳහා ලක්ෂ හතළිහකට වැඩි ප්‍රමාණයක් අයැදුම් පත්‍ර කැඳවනු ලැබුවා. එයින් සමාජ සුබසාධන ප්‍රතිලාභ ලැබිය යුතු පිරිස් විදිහට තිස්හය ලක්ෂයක් තෝරා ගනු ලැබුවා.

 

මෙහිදී අස්වැසුම ප්‍රතිලාභ සඳහා තෝරාගනු ලබන්නේ කුමන නිර්ණායක අනුවද?

අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමේදී ඉතාමත් දුප්පත්, දුප්පත්, අවදානම් සීමාව ලෙස වර්ග කරනු ලබනවා. ඒ අනුව තමයි අස්වැසුම ප්‍රතිලාභ ලබා දෙනු ලබන මුදල් ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ. ඉතාමත් දුප්පත් කියන නිර්ණායකයට රුපියල් පහළොස්දහසක් ලබා දෙනු ලබනවා. ඉන්පසු අදියර සඳහා ඊට අඩු මුදල් ලබා දීම් සිදු කරනු ලබනවා. දෙවන ප්‍රමාණයේ පිරිස් වෙත රුපියල් අටදහසක්, තෙවන තත්ත්වයේ පිරිස් වෙත රුපියල් පන්දහසක් සහ හතරවන තත්ත්වයේ පිරිස් වෙත රුපියල් දෙදහස් පන්සියයක් ලබා දීමටත් කටයුතු කරනු ලබනවා.

 

දේශපාලන හිතවත්කම්වලට හා පුද්ගලික හිතවත්කම්වලට සුබසාධන ප්‍රතිලාභ ලබා දීම අපේ රටේ සාමාන්‍ය රටාවක්. නව නිර්ණායක ක්‍රමය තුළ ඒවගේ අයුතු දේ කිරීමට හැකියාවක් තියෙනවාද?

පැහැදිලිවම බැහැ, අපි මේ පිළිබඳව අවශ්‍ය කරන සමීක්ෂණ කටයුතු ස්වාධීනව සිදු කර තිබෙන්නේ රටේ කුමන සුබසාධන ව්‍යාපාරයක් ආරම්භ කළත් අවශ්‍ය තොරතුරු පුද්ගල ජීවන තොරතුරු ඇතුළු සියලු කරුණු සහ දත්ත අප සතුවයි තිබෙන්නේ. අප මේ කරුණු දත්ත රැස් කළේ ස්වාධීනව. ඒ නිසා මින් ඉදිරියට සුබසාධන කටයුතු සඳහා කිසිදු දේශපාලන බලපෑමක් සිදු කිරීමට බැහැ, සුදුස්සන්ට පමණක් සුබසාධන ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරනවා.

 

මෙම සමීක්ෂණය කිරීමෙන් ලබා ගත් තොරතුරු පිළිබඳව පසු විපරමක් සිදු කිරීමක් සිදු කරනවාද?

අනිවාර්යෙන්ම පසු විපරමක් සිදු කරනු ලබනවා. දැනට ඒ පසුවිපරම නැවත සමීක්ෂණ සිදු කරනු ලබන්නේ වාර්ෂිකවයි. එමඟින් වර්ෂයක් තුළ සිදුව තිබෙන පවුල්වල සහ සමාජයේ වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කර කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. ඇත්තෙන්ම වාර්ෂිකව නොවෙයි සය මාසිකව, තුන් මාසිකව සිදු කිරීමට පුළුවන්නම් වඩාත් හොඳයි. එමඟින් මේ දත්ත වඩාත් නිවැරැදි, ඒ කාලය තුළ සිදු වූ අතපසුවීම් මොනවාද යන්න සලකා බලා කටයුතු කිරීමට හැකියාව තිබෙනවා.

 

මෙවැනි වාර්ෂික සමීක්ෂණ මඟින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව පැහැදිලි කිරීමට පුළුවන්ද?

මෙයට පෙර තිබුණු සමාජ සුබසාධන වැඩපිළිවෙළවල තිබෙන ක්‍රමවල පසු සමීක්ෂණ ක්‍රමයක් සිදු කළේ නැහැ. කුමන හෝ ක්‍රමයකට ලබා ගත් ප්‍රතිලාභය ජීවිත කාලය පුරාම ලැබුණා මිස කිසිදු සොයා බැලීමක් කළේ නැහැ. එමඟින් මහජන මුදල්, මහජන බදු මුදල් නිසි විදිහට පරිහරණය නොවීමකුයි සිදු වුණේ. සමහර අවස්ථාවල සහනාධාරය ගත් කෙනා කාලයත් සමඟ ලොකු ආර්ථික ශක්තියක් තිබෙන පුද්ගලයකු බවට පත්වෙලා. ඒත් ඔහු සුබසාධන ප්‍රතිලාභය ලබනවා. ඇත්තෙන්ම මේක කොයි ආකාරයට බැලුවත් හොඳ දෙයක් නොවෙයි. ඒත් මේ විදිහේ වැරැදි දිගින් දිගටම සිදු වුණා. එයට හේතු වුණේ නිසි විදිහේ සමීක්ෂණයක් සිදු නොවීමයි. එහෙත් දැන් අප වාර්ෂිකව සිදු කරනු ලබන සමීක්ෂණ නිසා සුදුස්සන් නුසුදුස්සන් හඳුනා ගැනීමට පුළුවන්කම ලැබී තිබෙනවා. පෙර සුබසාධන ක්‍රමවලදී වගේ නොවෙයි, වර්තමාන සුබසාධන සමීක්ෂණවලදී අධ්‍යාපන, සෞඛ්‍ය වගේ අංශවලටත් ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. ප්‍රතිලාභීන්ද මෙහිදී තම කරුණු නිවැරැදිව සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම කළ යුතුයි.

 

ආදායම සහ වියදම අතර පරතරය වෙනස් වීම නිසාත් සමහරු දරිද්‍රතාවට ලක්ව සිටිනවා නේද?

ඔව්. කෙනෙකු ලීසිං කර ත්‍රිරෝද රථයක් ගන්නවා. ඔහුට මූලික මුදල අඩුවෙන් ගෙවලා ලොකු ලීසිං වාරිකයකට මුදල් ගෙවීමට සිදුවෙනවා. සමහර අවස්ථාවල ඒ කෙනා ත්‍රිරෝද රථය හයර් කර ලබා ගන්නා ආදායමෙන් විශාල ප්‍රමාණයක් ලීසිං විදිහට ගෙවනු ලබනවා. ඒ තත්ත්වය තුළ ත්‍රිරෝද රථ රියැදුරාට යම් කිසි කාලයක් සඳහා ජීවත් වීමට අපහසු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අප ඒ පුද්ගලයාට අවශ්‍ය සහනය ලබා දිය යුතුයි. අප සිදු කරනු ලබන සමීක්ෂණයක් මඟින් සහනාධාර ලබා දෙන වැඩපිළිවෙළක් සඳහා අවශ්‍ය පියවර අනුගමනය කිරීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා ජීවන තත්ත්වය සමතුලිත කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන් ඇති කිරීමට අවස්ථාවක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්.

 

සමාජ ආරක්ෂණය කියන්නේ මුදල් පමණක්ද?

සමාජ ආරක්ෂණය කියන්නේ සල්ලි විතරක් නැතිනම් දේපළ පමණක්ය කියා හිතනවා නම් ඒක වැරැදියි. අද මුදල් තිබෙන, දේපළ තිබෙන මවුපියන් සිටිනවා නිවාසවල හුදෙකලා වෙලා. ඒ වගේ අය පිළිබඳවත් අවධානය යොමු කර කටයුතු කළ යුතුව තිබෙනවා. මෙවැනි පිරිස් ගැන ද අවධානය යොමු කිරීම සමාජ ආරක්ෂණ සහ සුබසාධන ක්‍රම මඟින් සිදු කරනු ලබනවා.

 

ඔබ කියන්නේ රට පුරා සිටින මෙවැනි කණ්ඩායම් හඳුනාගැනීමට සුබසාධක මණ්ඩල සමීක්ෂණයට සහ දත්ත පද්ධතියට හැකියාව තිබෙන බවද?

අනිවාර්යෙන්ම. මෙවැනි දත්ත පද්ධතියක් පිහිටුවීමේ අරමුණ බවට පත්වෙලා තිබෙන්නේ දුප්පත්කම ගැන විතරක් සමීක්ෂණ කිරීමට නොවෙයි. ඉන් එහා ගිහින් සමාජයේ විවිධ අංශ ගැන සමීක්ෂණ කිරීමට වගේම ඒවායේ ඇති අඩුපාඩු පිළිබඳව සලකා බලා කටයුතු කිරීමටත් හැකියාව තිබෙනවා.

 

අනාගතයේදී සිදු කරන ඕනෑම ජාතික කාර්යක් සඳහා දත්ත, තොරුතුරු ලබා ගැනීම කළ යුත්තේ ඔබ මණ්ඩලය හරහා පමණද?

අනිවාර්යෙන්ම අපි හරහා පමණයි සියලු තොරුතුරු දැනගැනීමට අවස්ථාව තිබෙන්නේ. අපට මේ දේ වෙනස් දෙයක් අලුත් දෙයක් වුණාට බොහෝ රටවල මේ විදිහේ ජාතික දත්ත පද්ධතියක් සහිත ආයතන තිබෙනවා.

 

එකතුවන සියලු දත්ත නිවැරැදි යැයි හරියටම කියන්න පුළුවන්ද?

අපට මේ කාර්ය තුළ එක් පාර්ශ්වයක් විදිහටයි කටයුතු කරන්න වෙන්නේ. තමන්ගේ යුතුකම ඉටු කිරීමට මහජනතාවද දැන ගත යුතුයි. ඒ නිවැරැදි තොරතුරු සමීක්ෂණ කණ්ඩායම් වෙත ලබා දීමට වගකීමක් තියෙනවා. සමහර අයට වාහන තියෙනවා ඕපන් පේපර්ස්. ඒ වගේ වාහන තියෙන කෙනා කියන්න පුළුවන් තමන්ට වාහනයක් නැහැ කියලා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පද්ධතිය ගත්තත් ඒ වාහනයේ අයිතිකරු වෙන කෙනෙක් සැබෑ අයිතිකාරයා වාහනයේ අයිතිකරු විදිහට සඳහන් වෙන්නේ නැහැ. එවැනි තත්ත්වයන් දත්ත සමීක්ෂණයේදී මතුවෙන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව සමාජයත් වගකීමෙන් යුතුව බලන්න ඕනැ.

 

සහනාධාර, සුබසාධන වැඩසටහන්වලට සිදුවන දේශපාලන බලපෑම් වර්තමානයේදී සිදු නොවන බව ඔබ සඳහන් කළා එය තවදුරටත් පැහැදිලි කරන්න?

ඔව්. අප මණ්ඩලය ක්‍රියාකාරී වීමත් දත්ත පද්ධතිය නිසි ලෙස යාවත්කාලීන කිරීමත් නිසා දැන් හිතු හිතු විදිහට කාටවත් සහනාධාර දෙන්න බැහැ. ඇත්තෙන්ම මේ සහනාධාරවලට සල්ලි දෙන්නේ එක් කණ්ඩායමක් නොවෙයි. සීනි ඇටේ සිට විවිධ ආකාරයට පනවන ලබන බදුවල ප්‍රතිලාභ තමයි සහනාධාර සහ සුබසාධාන කටයුතුවලට ලබා දෙන්නේ. ඒ නිසා මේ සියලු සුබසාධන කටයුතු නිර්පාක්ෂිකව සහ ස්වාධීනව කළ යුතු දෙයක් විදිහටයි අප සලකන්නේ.

සටහන – උදිත ගුණවර්ධන, ඡායාරූපය – මාලන් කරුණාරත්න

උපුටා ගැනීම – දිනමිණ

Social Sharing
අවකාශය නවතම විශේෂාංග