අවුරුදු නිවාඩු කාලය තුළ අපරාධවල සැලකිය යුතු අඩුවීමක් – පොලිසිය පවසයි

2023 වසරට සාපේක්ෂව මේ වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ පොලිස් ස්ථාන වෙත වාර්තා වූ අපරාධ සහ මාර්ග අනතුරු සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බව පොලිස් වාර්තාවකින් අනාවරණය වී තිබේ.

පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 2024 අප්‍රේල් 10 සිට 2024 අප්‍රේල් 17 දක්වා කාලය තුළ වාර්තා වූ අපරාධ සහ රථවාහන අනතුරු සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුව මේ බව අනාවරණය විය.

ඒ අනුව 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වසරේ අප්‍රේල් නිවාඩු සමයේ දින 08 තුළ,

වාර්තා වන ඝාතන සිදුවීම් 26 සිට 20 දක්වා අඩු වී ඇත.

තුවාල ඇතිවන සිදුවීම් 507 සිට 389 දක්වා අඩු වී ඇත.

පහරදීම් සිද්ධීන් 4,431 සිට 4,018 දක්වා අඩු වී ඇත.

ආරවුල්/ගැටුම් සිදුවීම් 4,425 සිට 3,936 දක්වා අඩු වී ඇත.

දේපළ/මුදල් සොරකම් කිරීමේ සිද්ධීන් 339 සිට 244 දක්වා අඩුවී ඇත.

නිවාස කැඩීම පිළිබඳ පැමිණිලි 195 සිට 150 දක්වා අඩු වී ඇත

මාල මංකොල්ලකෑම් පිළිබඳ පැමිණිලි 29 සිට 23 දක්වා අඩු වී ඇත.

ගිනි තැබීම් පැමිණිලි 48 සිට 46 දක්වා අඩු වී ඇත.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධීන් 9 සිට 7 දක්වා අඩුවී තිබෙනවා.

ඉහත දත්තවලට අනුව පෙර වසරට සාපේක්ෂව මෙවර අවුරුදු සමයේ අපරාධ විශාල ලෙස අඩුවී ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම මත්ද්‍රව්‍ය හා පාතාල අපරාධ මැඩලීමේ ‘යුක්තිය’ මෙහෙයුම් තවදුරටත් තීව්‍ර කිරීමටත්, දිවයින පුරා පිහිටි පොලිස් කොට්ඨාශවලට ගැලපෙන පරිදි අපරාධ වැළැක්වීමේ සැලසුම් සකස් කර ඉදිරි මාස තුන ඇතුළත මෙහෙයුම් සිදු කිරීමටත් පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවට වාර්තාවේ.

මූලාශ්‍රය –  https://www.newswire.lk/2024/04/20/20-murders-in-8-days-significant-reduction-in-crimes-during-holiday-season-police/

Social Sharing
නවතම පුවත්