එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටුව ශ්‍රී ලංකාවේ දෙවන නිරීක්ෂණ සංචාරය නිම කරයි!

වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව (SPT) 2026 ජුනි 15 සිට 24 දක්වා පැවැත්වූ සිය දෙවන ශ්‍රී ලංකා නිල සංචාරය සාර්ථකව අවසන් කර තිබේ. මෙම සංචාරය තුළ වධහිංසා වැළැක්වීම, රැඳවුම් මධ්‍යස්ථානවල තත්ත්වය සහ ජාතික වධහිංසා වැළැක්වීමේ යාන්ත්‍රණය (NPM) ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් රජයේ ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ පුළුල් සාකච්ඡා පැවැත්විය.

සංචාරය අතරතුර SPT නියෝජිත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර හමුවිය. එහිදී ශ්‍රී ලංකා රජය වධහිංසාව සම්බන්ධයෙන් අනුගමනය කරන ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තිය යළි අවධාරණය කළ අතර, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ එක්සත් ජාතීන්ගේ ගිවිසුම් ආයතන සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ රජයේ කැපවීමද ප්‍රකාශ කළේය.

ජුනි 15 දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකට ප්‍රධාන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ. එහිදී වධහිංසා වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කර ඇති ව්‍යවස්ථාදායක, පරිපාලන සහ ආයතනික ප්‍රතිසංස්කරණ මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව SPT නියෝජිතයන් දැනුවත් කරන ලදී.

මෙම සංචාරයේදී SPT නියෝජිත පිරිස, වධහිංසාවට එරෙහි සම්මුතියේ විකල්ප ප්‍රොටෝකෝලය (OPCAT) යටතේ ශ්‍රී ලංකාවේ ජාතික වධහිංසා වැළැක්වීමේ යාන්ත්‍රණය ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL), අධිකරණ සේවා කොමිසම සහ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් සමඟද සාකච්ඡා පැවැත්වීය.

සංචාරය අවසානයේ ජුනි 23 දින රජයේ පාර්ශ්වකරුවන් සමඟ පැවති අවසන් සාකච්ඡාවේදී SPT නියෝජිත පිරිස සිය මූලික නිරීක්ෂණ ඉදිරිපත් කළහ. එහිදී වධහිංසා සහ අයහපත් ලෙස සැලකීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම අගය කළ ඔවුන්, රැඳවුම් මධ්‍යස්ථාන වෙත බාධාවකින් තොරව ප්‍රවේශ වීමට ලබාදුන් පහසුකම් සහ සංචාරය පුරාම රජය ලබාදුන් සහයෝගයද අගය කළ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ විවෘත, විනිවිදභාවයෙන් සහ ඵලදායී සහයෝගීතාවක් පවත්වාගෙන යමින්, ස්වේච්ඡාවෙන් භාරගත් ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමට අඛණ්ඩව කැපවී සිටින බවද රජය අවධාරණය කළේය.

මෙවර SPT නියෝජිත පිරිසට නියෝජිත ප්‍රධානී අයිෂා සුජුන් මුහම්මද් (මාලදිවයින), ජාකුබ් ජුලියන් චෙපෙක් (පෝලන්තය), ඇනිකා ටොම්සික් (ක්‍රොඒෂියාව) සහ නිකා ක්වාරට්ස්කෙලියා (ජෝර්ජියාව) ඇතුළත් වූ අතර, ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි SPT ලේකම් කාර්යාලයේ නිලධාරීන්ද මෙම සංචාරයට එක්ව සිටියහ.

2017 වසරේදී ශ්‍රී ලංකාව වධහිංසාවට එරෙහි සම්මුතියේ විකල්ප ප්‍රොටෝකෝලය (OPCAT) අනුමත කිරීමෙන් අනතුරුව, 2019 අප්‍රේල් මාසයේ සිදු කළ පළමු නිල සංචාරයෙන් පසු SPT විසින් ශ්‍රී ලංකාවට සිදු කළ දෙවන සංචාරය ලෙස මෙය සනිටුහන් වේ.

උපුටා ගැනීම ITN News

Social Sharing
නවතම පුවත්