බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ගෙන් 70%ක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්!

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා අදාළ සියලු රාජ්‍ය ආයතන එක්සත් ජාතික සැලැස්මකට අනුව සම්බන්ධීකරණයෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ රැස්වීමට ඊයේ (02) ජනාධිපති කාර්යාලයේදී එක්වෙමිනි. මෙම රැස්වීමට ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු සියලු ආගමික නායකයන්, අමාත්‍යාංශ ලේකම්වරු සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් ද සහභාගී වූහ.

ජනාධිපතිවරයා සියලු ආයතනවලට උපදෙස් ලබාදෙමින්, මත්ද්‍රව්‍ය මර්දනය සඳහා ජාතික සැලැස්ම යටතේ තමන්ට පැවරී ඇති වගකීම් සහ මෙතෙක් ඉටුකර ඇති ප්‍රගතිය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරි රැස්වීමට ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.

රැස්වීමේදී අනාවරණය වූයේ බන්ධනාගාරගත පුද්ගලයන්ගෙන් 70%කට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවයි. ඒ අනුව බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා ඔවුන්ගේ පුනරුත්ථාපනය හා විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කෙරිණි.

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා විමසා බැලූ අතර, මේ වන විට පාසල් මට්ටමින් ගුරුවරුන් සහ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් 225ක් ක්‍රියාත්මක කර ඇති බවත්, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් මූලික කරගත් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වන බවත් දැනුම් දෙන ලදී.

එමෙන්ම පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පිළිබඳ දිවයින පුරා සමීක්ෂණයක් සිදු කිරීම සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සියලු අදාළ ආයතන එක්කර පොදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් ද මෙම ජාතික වැඩසටහනට සම්බන්ධ කර ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද තීරණය කෙරිණි.

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සඳහා නව නීති හඳුන්වාදීම, නඩු භාණ්ඩ කළමනාකරණය සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් හඳුන්වාදීම, පරීක්ෂණාගාර පහසුකම් විමධ්‍යගත කිරීම සහ රජයේ රස පරීක්ෂක වාර්තා ලබාදීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම පිළිබඳව ද රැස්වීමේදී අවධානය යොමු විය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වන නව පනත් කෙටුම්පත අවසන් කර ඇති අතර එය ඉදිරියේදී ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද මෙහිදී අනාවරණය කෙරිණි.

තවද, දෙමව්පියන්ට තම දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී ඇත්දැයි පෞද්ගලිකව පරීක්ෂා කළ හැකි Drug Testing Kits ඔසුසල් හරහා ජනතාවට පහසුවෙන් ලබාගත හැකි පරිදි වෙළෙඳපොළට හඳුන්වාදීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීම සඳහා නාවික හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ ඒකාබද්ධව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගන්නා බහුදින ධීවර යාත්‍රා සහ අනෙකුත් වාහන රාජසන්තක කිරීම සඳහා පවතින නීතිමය බලතල තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු වූ බව සඳහන් කෙරිණි.

Social Sharing
නවතම පුවත්