දේශපාලකයන් මර්ධනකාරී නීති වලට එරෙහිව ගන්නා පියවර ප්‍රශ්න කළ යුතුයි. – ජේෂ්ඨ මාධ්‍යවේදී, කේ.ඩබ් ජනරංජන

K W Janaranjana PTA

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තාවකාලික විධි විධාන පනත් විදියට තමයි 1979 දී සම්මත වෙන්නේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත  මාස තුනකට පමණක් කියලා ඒ කාලයේදී කිව්වා. පසුව ඊට සංශෝධන පනතක් ඉදිරිපත් කලා. 1982 දී මාස තුනක තාවකාලික පනත ඉවත් කළා. එදා ඉඳලා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අද වෙනතුරු පැවැත්වෙනවා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නීතිමය භාෂාවෙන් එය කෲර, අමානුෂික පනතක්. Draconian Law (කුරිරු නීතියක්) ලෙස හඳුන්වන්නත් පුළුවන්. රජය මෙම පනත ගෙන ආවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා කරන ලද අරගලය මැඩපවත්වන්න. එම ක්‍රියාවන් ත්‍රස්තවාදී ක්‍රියාවන් ලෙස හඳුවලා ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න තමයි මේ පනත ගෙන ආවේ. නමුත් පසුව ඒ අරමුණින් බැහැරව තමන්ට අවශ්‍ය ඕනෑම කෙනෙක් මර්ධනය කිරීම සඳහා යොදා ගත්තා. ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය පනතේ ඕන තරම් තිබුණා. ත්‍රස්තවාදය වැලැක්වීම කියන්නේ මොකක්ද කියන එක අර්ථ දැක්වීමේ සිට පාපෝච්චාරණ, රඳවා තබා ගැනිම්, නඩු විභාග පනතේ තියෙන සියල්ල දෙස බැලුවම තමන්ට ඕනම කෙනෙක් අවශ්‍ය විදියට පිඩනයට, මර්ධනය කිරීමට හැකියාව පනත තුළම තිබෙනවා.  පනත යටතේ පොලීසියට විශාල බලයක් පැවරෙනවා. රඳවා තබාගැනිම් කිරීම, පාපෝච්චරණය සටහන් කිරීම් කිරීමේ බලය තිබෙනවා. ලංකාවේ පොලීසිය කියන්නේ නොදියුණු, වෘත්තීමයභාවයක් නැති, ම්ලේච්ච විදියට වැඩ කරන, පොලිස්පතිවරයාගේ සිට දේශපාලන වුවමනාවන්ට අනුවම කටයුතු කරන කටයුතු කරන රජයේ ආයතනයක්. මේසා විශාල බලයක් පොලීසියකට ලැබුනහම ඒ බලය තදින්ම ක්‍රියාත්මක කිරීමේ බලය ආණ්ඩුවට නිරායාසයෙන්ම ලැබෙනවා. ආණ්ඩුව තමන්ට ඕන විදියට පනත මෙහෙයවන්න පුළුවන්.

ජනමාධ්‍යවේදීන්ට එරෙහිව

රජය පහුගිය කාලය පුරාම ත්‍රස්තවාදයට ඇතුළත් නොවන පුද්ගලයන්ව මර්ධනය කලා. අත්අඩංගුවට ගත්තා. දීර්ඝ කාලයක් රඳවා තබාගත්තා. වධහිංසාවට භාජනය කළා. ඒ අය අතරින් එක් පිරිසක් තමයි මාධ්‍යවේදීන්. තිස්සනායගම් වැනි මාධ්‍යවේදියෙක් ලියූ ලිපියක පේලි කිහිපයක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තා. මෑත කාලේ ගත්තොත් එහෙම තරුණ කවීන්, ලේඛකයන් අත්ඩංගුවට අරන් තියෙනවා. මුලින්ම අත්අඩංගුවට ගත්තේ දෙමළ ලේඛකයන්. මෑත කාලේ මුස්ලිම් ලේඛකයන් මර්ධනය සඳහා ද භාවිතා වෙනවා. අවශ්‍ය නං මේ පනත සිංහල ලේඛකයන්ටත් භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේ වුවමනාව තියෙන්නේ සුළුතර ජාතීන් පීඩාවට පත් කිරීම නිසා දෙමළ, මුස්ලිම් ලේඛකයන්ට එරෙහිව මේ පනත භාවිතා කළා. කෙනෙක් යම් දෙයක් ගැන ලියනවා කීම ත්‍රස්තවාදි ක්‍රියාවක් ද?. ත්‍රස්තවාදය කියන්නේ ත්‍රස්තය ඇති කිරීම, බිය ඇති කිරීම සඳහා කරන ක්‍රියාවක්. යම් කෙනෙක් ලියන දේකින් ත්‍රස්ත ක්‍රියාවක යෙදීමට ඇඟවුමක් නැත්නම් ඒක ත්‍රස්තවාදි ක්‍රියාවක් හැටියට කොහේවත් අර්ථකථනය කරන්න බෑ. ඒවැනි දෙයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට අදාල වෙන්නෙත්නෑ. තිස්සනාගයම්ගේ සිද්ධිය ගෙන බැලුවහොත් එම ලියවිල්ලෙහි ත්‍රස්තවාදයට සම්බන්ධ කිසිම සඳහනක් නැති බව පේනවා.

පදනමක් නැතිව ජනමාධ්‍යවේදීන්, සාහිත්‍යකරුවන් අත්අඩංගුවට ගැනීම

පහුගිය දවස්වල මුස්ලිම් තරුණයන් ගැන වුනත් ඒ ලියවිලි වල ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නැති බව සමාජය දන්නවා. නමුත් රජය සහ පොලිසිය පෙන්වන්න හදනවා මෙම ලියවිලි තුළ ත්‍රස්තවාදයට සම්බන්ධ සටහන් තියෙනවා කියලා. අවසාන ප්‍රතිඵලය වන්නේ මෙම ලේඛකයන්ව දීර්ඝ කාලයක් රඳවා පවත්වා ගැනීම. මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප දිමක් ලබා ගැනීම ද කළ නොහැක. නඩු විභාගයක් පැවැත්වුවහොත් අනිවාර්යයෙන්ම අදලා පුද්ගලයා නිදහස් වෙනවා. ඔවුන්ගේ චෝදනාවල පනතට අදාල කාරණා කිසිත් නැති නිසා. නඩුව පැමිණෙනතුරු විශාල කාලයක් පීඩනයක් ලබා දෙමින් ඔවුන්ව රඳවා පවත්වාගෙන ඉන්නවා. අදහස් පළ කරන පාර්ශ්වයන්ගේ දෘෂ්ඨිකෝණයෙන් මේ තත්ත්වය දෙස බැලුවහොත් පෙනෙන දෙයක් තමයි අදහස් පළ කරන්නන්ව බය කරන්න මේ අයුරින් හැසිරෙන බව. පහුගිය දවස්වල සිදුවුනු සිදුවීම් වලින් පැහැදිලි වෙන්නේ ඒ බවයි.

ත්‍රස්තවාදය වැලැක්විමේ පනත ත්‍රස්තවාදය වැලැක්වීමට භාවිතා කරනවාට අමතරව ජනමාධ්‍යවේදීන්, කවියන්, ලේඛකයන් මර්ධනය කිරීමටත් භාවිතා කරනවා. පනතේ ඇති කුරිරු, අමානුෂික බව එයින්ම පැහැදිලි වෙනවා.

එක පැත්තකින් රජය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංංශෝධනය කිරීමට උත්සාහ කරනවා. අනෙක් පැත්තෙන් මේ වන විට රජය මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනතක් ගේන්න යනවා. එම පනත පවා අදහස් පළ කිරීමේ අයිතිවාසිකම පුළුවන් තරම් සීමා කිරීමට උත්සාහ කිරීමක්. හැම ආණ්ඩුවක්ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට අත තියන්න කැමති වූනේ නෑ. එම පනත ඒ විදියටම තියාගැනීමටත් උත්සාහයක් තියෙනවා. මොකද සමාජයේ පවා අදහසක් තියෙනවා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතක් නොමැති වුවහොත් ත්‍රස්තවාදය විසින් ලංකාව යටපත් කර ගනියි කියලා. මේ අදහස මෝඩ, කිසිඳු පදනමක් නැති එකක්. කෙසේ වුවත් රජය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තිබියදීම මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත සහ විකාශන අධිකාරි පනත වගේ පනත් ගෙනෙමින් පවතිනවා. අදහස් ප්‍රකාශ කිරීම සීමා කිරීමේ පනත් දැනටමත් තිබෙනවා සහ ඉදිරියේ දී ඒමට නියමිතව තිබෙනවා.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතක් අවශ්‍යය ද?

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි පනතක් ලංකාවට අවශ්‍ය නැති බවයි පුද්ගලික අදහස. කව්රු හරි කියනවා නම් ත්‍රස්තවාදය වැලැක්වීමට මේ පනත ඕන කියලා, මට කියන්න තියෙන්නේ දැන් ත්‍රස්තවාදයක් නැහැනේ ඒ නිසා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතක් ඕන නෑ කියලා. ඒක තමයි යථාර්ථය. අනෙක් කරුණ නම් රටේ දණ්ඩ නීති සංග්‍රහය වැනි නීති තියෙනවා මේ පනතේ තියෙන විධි විධානයන්ම තියෙන. අවශ්‍යම නම් රජයට පුළුවන් එවැනි නීති වලට සංශෝධන ගෙන එන්න. දඩුවම් වැඩි කිරීම සහ වෙනත් කරුණු ඇත්නම් සාකච්ඡා කර ඇතුළත් කරන්න පුළුවන්. ත්‍රස්තවාදය වැලැක්වීමට වෙනම පනතක් ගෙන ඒම අවශ්‍ය දෙයක් නෙමෙයි. වෙනම පනතක් ත්‍රස්තවාදය වැලැක්වීමට ගෙනැවිත් අනෙක් නීති වල තිබෙන සියළුම බරපතල, නරක නීති එක පනතකට ඇතුළත් කරලා විමර්ශන, රඳවාගැනීම්, ඇපදීම, නඩු විභාග කිරීම වැනි කරුණු සම්බන්ධ ඉතාම සංකීර්ණ තත්ත්වයක් ඇති කරලා පුළුවන් තරම් පීඩාවට පත් කරන තමයි කළේ.

පනත ජාත්‍යයන්තර නීතීන්ට හා මානුෂීය නිතීන් අනුව විය යුතුයි

රජයට ජාත්‍යයන්තර බලපෑමක් තියෙනවා ත්‍රස්තවාදය වැලක්වීමේ පනත ජාත්‍යයන්තර මානුෂීය නීතිවලට, ප්‍රමිතීන් වලට අදාල වෙන පනතකින් නව නීතියක් ලෙස ගෙන ඒමට. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතක් අවශ්‍යයි කියලා කියන පිරිසට සතුටුවෙන්න තමයි එවැනි පනතක් අවශ්‍ය වෙන්නේ. අලුත් පනතක් ගේනවනං ඒ පනත කොයි වගේ වෙන්න ඕන ද කියලා අපිට අදහසක් තියෙන්න ඕන. තිබුණු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ තිබෙන වැරදි අඩුපාඩු සකස් කරලා, එහෙම නැත්තං නැති කරලා. වඩාත් සාර්ථක මානව අයිතිවාසිකම් සුරැකෙන, මානුෂීය නීති ආරක්ෂා කෙරෙන, ජාත්‍යයන්තර ප්‍රමිතීන් ආරකෂා වෙන පනතක් වෙන්න ඕනා.

අලුත් පනතේ වියවුල

අවස්ථා දෙකකදී පනත් දෙකක් ගෙනාවා නමුත් ඒ පනත් දෙකේම අප කලින් සඳහන් කළ කරුණු දක්නට නැහැ. සුළු සුළු කරුණු තිබුණා කාර්ය පටි පාටි කියලා පෙන්වන්න පුළුවන් දේවල්. කලින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ තිබුණු කෲර, අමානුෂික ස්වභාවයන් මෙම පනතෙන් ඉවත් වෙලා නෑ. මේ නිසා පැහැදිලිව පෙනෙන දෙයක් තමයි නැවත ගේන්න උත්සාහ කරන්නෙත් එවැනිම පනත් බවයි. ජාත්‍යයන්තර ප්‍රජාව අලුතින් ගෙනැවිත් තිබෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්බන්ධයෙන් මොන වගේ ස්ථාවරයක් ගනීද කියලා අපිට කියන්න බෑ. මේ ගේන්න හදන පනත කොයි වගේ එකක්ද ජාත්‍යයන්තර ප්‍රජාව බලන්න ඕන. අලුත් පනත ඉදිරිපත් කරද්දි සමාජයේ විශාල ආන්දෝලනයක් ඇති වුනා. කණ්ඩායම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් විරෝධය දැක්වූවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයේ පෙත්සම්කරුවන් විසින් යෝජනා කරන ලද සමහර කරුණු සම්බන්ධයෙන් කිසිඳු සඳහනක්වත් නෑ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතටම පොඩි පොඩි පැලැස්තර දමාපු ඒ පතන ගේන ඒමත් වැඩක් නෑ. අළුතින් පනතක් ගෙන ඒමට අවශ්‍යතාවයක් ඇත්නම් යෝජනා කරන ලද මහජනතාවගේ, නීතිඥයන්, නීති ප්‍රජාව, මානව හිමිකම් ක්‍රියාකාරිකයන්, මාධ්‍ය මෙවැනි කරුණු ගැන උනන්දුවක් දක්වන ප්‍රජාවගේ අදහස් සලකා බලලා අලුත් පනතක් ගෙන ඒම තමයි දැන් අවශ්‍ය වෙන්නේ. අඩුම ගානේ එතකොටවත් සෑහීමකට පත්වෙන්න පුළුවන් වේවි. බොරුවට විවිධ කණ්ඩායම් වලින් අදහස් විමසන බව කිව්වත් මේ පනතේ ඒ කිසිවක් සඳහන් වෙලා නෑ.

ත්‍රස්තවාදය දිරිගැන්වෙන ලියවිල්ලක් යනු කුමක්ද?

ත්‍රස්තවාදය නිර්වචනය කරන්නේ කෙසේද යනුවෙන් ගැටළුවක් තිබේ.  ත්‍රස්තවාදය යන්නට නිර්වචනය පුළුල් පුළුල් වෙන්න ජනමාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්, බුද්ධිමතුන්, සිවිල් ක්‍රියාදරයින් එහි නිර්වචනයට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ නිර්වචනය ඔවුන්ට අවශ්‍ය පරිදි භාවිතා කරන්න පුළුවන්. කව්රු හරි ලියන දෙයකින් ත්‍රස්තවාදයට දිරි ගැන්වීමක් දෙයි කියලා කව්ද තීරණය කරන්නේ? මුලින්ම සැක කරන්නේ කව්ද? පොලිසිය. පොලිසියට හෝ රජයට පොලිසිය දැනුම්දීමක්, පැමිණිල්ලක් දානවා අදාල ලියවිල්ලෙන් ත්‍රස්තවාදය දිරි ගැන්වෙනවා කියලා. ලංකාවේ එවැනි බලවේග ඕන තරම් ඉන්නවා. භික්ෂූන් වහන්ස්ලා, විවිධ දේශපාලන පක්ෂ කණ්ඩායම් වලට කියන්න පුළුවන් මෙන්න මේ ලියවිල්ල ත්‍රස්තවාදය දිරි ගන්වනවා කියලා. මේ පැමිණිල්ල පොලිසියට පැමිණි වහාම පොලිසිය අදාල පුද්ගලයාව අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ අර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ලැබෙන පීඩනයන් යටතේ ජීවත්වීමට අදාල වින්දිතයාට සිදුවෙනවා. අදාල පුද්ගලයා රඳවා තබාගන්නවා පොලීසිය කැමති කාලයක්. චෝදනාව අධිකරණයක් ඉදිරියේ විභාගය කරන විට එය ත්‍රස්තවාදය දිරිගැන්වීමක් සිදුවෙන්නේ නැහැ කියලා තීරණය වෙනවා. ඒ කාලය තුළ වින්දිතයා විශාල කාලයක් ත්‍රස්ත විමර්ශන පීඩනය යටතේ ජීවත්වීමට සිදුවෙලා. දඬුවම ලැබිලා ඉවරයි. අධිකරණයෙන් දඬුවමක් අවශ්‍ය නැහැ. මෙම විමර්ශනය සම්බන්ධයෙන් විශාල බලයක් පොලිසිය ලැබෙනවා නම්, පොලිසිය හිතන විදියට මෙම විමර්ශනය සිදුවෙන්නේ නම් එය ඉතාමත් භයානක තත්ත්වයක්.

අහිංසකයන් වැරදිකරුවන් කරන වැරදිකරුවන් අහිංසකයන් කරන නීති

මුලින්ම දෙමළ ජනතාව ඉලක්ක කරගත්තා. ඊට පස්සේ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගත්තා. ඕනම වෙලාවක සිංහල මාධ්‍යවේදීන් ඕනම කෙනෙක්ව ඉලක්ක කරගන්න පුළුවන්. දෙමළ හා මුස්ලිම් ජනතාවගේ අයිතීන් ගැන කතා කරන, ලියන මාධ්‍යවේදීන්ව මේ පනත යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන්. මර්ධනය කරන්න පුළුවන්. මේ යටතේ ක්‍රියාත්මක වෙන්නේ මහජාතියේ චින්තනය.  පහුගිය කාලේ අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකාරයන්වත් රඳවා තබාගෙන හිටියේත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ. ඔවුන් රටේ බරපතල අපරාධ වලට වගකියන්න ඕන අපරාධකාරයින් තමයි. නමුත් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයයි ත්‍රස්තවාදය වැලැක්වීමයි අතර ඇති සම්බන්ධය කුමක්ද?  ජනවර්ගයන් කෙරෙහි භීතිය පැතිරවීමේ සම්බන්ධයෙන් ICCPR පනත තියෙනවා. ටිකක් බරපතල නීතියක්. මහේස්ත්‍රාත් අධිකරණයකින් පුළුවන්කමක් නෑ. මහාධිකරණයෙන් තමයි ඇප ගැනීමට සිදුවෙන්නේ. එය ජාත්‍යයන්තර සම්මුතීන්ට එකඟව ලංකාවේ සකස් කරගන්නා ලද නීතියක්. අවශ්‍ය නං ඒ නීතිය පාවිච්චි කරන්න පුළුවන් ජනවර්ගයන්ට, ආගමික කණ්ඩායම් වලට එරෙහිව සිදුකරන ප්‍රකාශනයන්ට එරෙහිව. නමුත් නීතිය භාවිතා කරලා තියෙන්නෙත් එවැනි තත්ත්වයන් ට වගකිව යුතු ප්‍රද්ගලයන්ට එරෙහිව නොවේ. ජනවර්ග, ආගමික කණ්ඩායම් අතර ඇත්තටම අසමගියක් ඇති කරන්න මුළුමනින්ම කටයුතු කරපු පුද්ගලයන්ව පැත්තක තියලා වෙනත් පිරිසක් තමයි එම නීතිය යටතෙත් ක්‍රියා මාර්ග ගෙන තිබෙන්නේ. එවැනි සරළ පනතක් පොලිසිය විසින් අවභාවිතා කරන්නේ නම් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මෙන් වූ භයානක පනතක් කොච්චර වැරදි විදියට අවභාවිතා කිරීමට හැකි ද කියලා පැහැදිලිව පේන දෙයක්.

මර්ධනකාරී නිති ගැන සමාජ බිය නොවැද්දිය යුතුයි.  

සමහර නීතියට සම්බන්ධ අය නීතිමය කරුණු ගැන පමණක් මතයන් ප්‍රකාශ කරනවා. ඔවුන් එහි ප්‍රකාශිත තොරතුරු විග්‍රහ කරනවා. සාමාන්‍ය මාධ්‍ය ආයතනයන් මෙන් නොව සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් බොහෝ විට ඉන්නේ තනියම. සාමාන්‍ය මාධ්‍ය ආයතනයන්ට කාර්යාලයක් තිබෙනවා. කාර්ය මණ්ඩලයක් ඉන්නවා. තනිව අදහස් ප්‍රකාශ කරන්නන් මෙම නීතිමය තත්ත්වය වටහා ගැනීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය තුළින් ඈත් වෙනවා. ඔවුන්ව බය කිරීමක් කරනු ලබනවා. සමාජ, දේශපාලන කෝණයකින් මේ ප්‍රශ්නය දැකීමට හැකියාවක් නැති නීතිඥවරුන් හා වරියන් පවා අනවශ්‍ය විදියට සමාජය බිය වද්දනවා.

මර්ධනකාරී නීති හමුවේ පුරවැසි භූමිකාව

පළමුවැන්න තමයි බය නොවී ඉන්න. ආණ්ඩු මේ නීති ගේන්නේම බය කරන්න තමයි. කටවල් වහන්න තමයි. ආණ්ඩුව මේවා ගේන්නේ මර්ධනය දියත් කරන්න. පුරවැසියන් හැටියටත්, අදහස් ප්‍රකාශ කරන්නන් හැටියටත්, මාධ්‍යවේදීන් හැටියටත් බය නොවී සිටිය යුතුයි. ඒ නිසා තමන්ගේ අදහස් පළ කිරීම සීමා කරන්න එපා. ස්වයං වාරණයකට ලක් කරන්න එපා. රජය ගැන පවතින ක්‍රමය ගැන තමන්ගේ තියෙන විවේචන, ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන්ගේ තියෙන වුවමනාව හීන කරගන්න එපා. සුළුතර ජාතීන් වෙනුවෙන් තමන්ගේ තියෙන කැපවීම අංශු මාත්‍රයකින්වත් අඩු කරන්න එපා. බිය නොවි එම අදහස් ප්‍රකාශ කරන්න.

මර්ධනයක් ආවොත් ඊට සාමූහිකව මූණ දෙන්නේ කොහොමද? ඒ වෙනුවෙන් පිරිස් සංවිධානය විය යුතුයි. පහුගිය කාලේ එවැනි සංවිධානාත්මක ක්‍රියාවන් සිදුවුනා. ගැටළු මතු වූ විට නීති ආධාර දෙන්න, ඔවුන්ට උදව් සහය දීමට සංවිධාන සහ පුද්ගලයන් සිටිනවා. ඒක එක් ක්‍රමයක්.

මෙවැනි පනත් ඉදිරිපත් කරන, ඊට බුද්ධිය හා ශක්තිය වැය කරන දේශපාලන බලධාරීන් දේශපාලන භූමියෙන් අතුගා දමන්න ඕන. රටේ මහජනතාව හැටියට, පුරවැසියන් හැටියට අපගේ මීළග පියවර වෙන්න ඕන එයයි. මේ අවුරුද්ද මැතිවරණ වසරක් ඒ නිසා එය කිරීමට අපට අවස්ථාවක් තියෙනවා.

හැකි සෑම අවස්ථාවකදීම තනිව හා සාමූහිකව මෙවැනි පනත් වලට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම. මෙම මර්ධනකාරී නීති සම්බන්ධ ජාත්‍යයන්තරයත් සමග තිබෙන සම්බන්ධතා හරහා ජාත්‍යයන්තර දැනුවත් කිරීම. ජාත්‍යයන්තර වේදිකාවන්හිදී මෙවැනි මර්ධනකාරී පනත් සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කිරීම, බලපෑම් කිරීම.

අපට ලැබෙන පළමු අවස්ථාවේදීම මෙම මර්ධනකාරී නීති ඉවත් කිරීම. සියළු පක්ෂ මහමැතිවරණයකට, ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට නියමිතයි. රටේ පුරවැසියන්, මාධ්‍යවේදීන් ලෙස එක් එක් පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයා ජනාධිපති වුනොත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට මොකද කරන්නේ? වෙනස් කරන්නේ නම් කොපමණ කාලයකින්ද? ඉවත් කරන්නේ නම් කොච්චර කාලෙකින් ද? වැනි ප්‍රශ්නත්,  මාර්ගගත ආරක්ෂණය පිළිබඳ පනත දිගටම ක්‍රියාත්මක කරනවාද? විරුද්ධ පත්ෂයේ සිටියදී විරුද්ධ වූවානම් දින කීයක් ඇතුළත මෙම පනත ඉවත් කරගන්නේද?  යනුවෙන් ප්‍රශ්න කරමින් ඔවුන්ගේ මතය හා සැලසුම ප්‍රශ්න කළ යුතුයි. විරෝධය පෑම කරන අතරේ සංයුක්තව දේශපාලන පක්ෂ වලට බලපෑම් කළ යුතුයි. මේ මර්ධනකාරී නිති වලට දේශපාලඥයින් ඉදිරියේ දී කිරීමට බලාපොරොත්තු වෙන දේ අනුව ඡන්දයේදී අපි ඒ ගැන සලකා බලන බව ඔවුන්ට දැනුම් දිය යුතුයි.

සමාජයේ මතයක් ඇති කරන්න ඕන මේ ගැන ඡන්දය සඳහා ඉදිරිපත් වෙන පක්ෂ වලින්, අපේක්ෂකයන්ගෙන් විමසන්න මේ මර්ධනකාරී නීති සම්බන්ධව ඔවුන් බලයට ආවොත් මොකද කරන්නේ කියලා? නිවසේ සිටිමින් සමාජ මාධ්‍ය භාවිතා කරන පුද්ගලයාට පුළුවන් වෙන්න ඕන ඡන්ද සඳහා තමන්ගේ නිවසට පැමිණෙන පුද්ගලයාගෙන් මේ සම්බන්ධයෙන් විමසන්න. ජනමාධ්‍යවේදීන්ට, පුරවැසියන්ට, දේශපාලන පක්ෂවලට, මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් තියෙනවා.

සටහන – සුදේශ් ද සිල්වා

Social Sharing
අවකාශය නවතම විශේෂාංග