
බාලවයස්කාර දරුවන්ට එරෙහිව බරපතළ ලිංගික අපරාධ සිදු කිරීමේ චෝදනාවලට වරදකරුවන් වූ විත්තිකරුවන් සිව්දෙනෙකුට දින 20ක් වැනි කෙටි කාලයක් තුළ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට අනුරාධපුර ළමා අපරාධ පිළිබඳ විශේෂ මහාධිකරණය කටයුතු කර තිබේ.
මෙම තීන්දු ප්රකාශයට පත් කර ඇත්තේ විශේෂ මහාධිකරණ විනිසුරුවරුන් වන සඳුන් විතාන සහ රුවන් ධම්මික දිසානායක මහත්වරුන් විසිනි.
මෙම සියලු නඩු නීතිපතිවරයා වෙනුවෙන් මෙහෙයවා ඇත්තේ රජයේ අධිනීතිඥ චමික ගුරුගේ මහතා විසිනි.
අධිකරණය නියම කළ දඬුවම් අනුව, පැවිදි කිරීම සඳහා විහාරස්ථානයකට භාරදුන් බාලවයස්කාර දරුවෙකු එම විහාරස්ථානයට පැමිණි පළමු දිනයේදීම බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ තඹුත්තේගම, හූරිගස්වැව ප්රදේශයේ භික්ෂුවකට වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර ඇත.
එමෙන්ම වයස අවුරුදු 10ක පිරිමි දරුවෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ ගලෙන්බිඳුණුවැව, සිවලාකුලම ප්රදේශයේ භික්ෂුවකට වසර 24ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.
තවද, ඥාති සබඳතාවක් ඇති වයස අවුරුදු 7ක බාලවයස්කාර දැරියක් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර ඇත.
තම අනියම් බිරිඳගේ වයස අවුරුදු 15ක දියණිය අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වූ තවත් පුද්ගලයෙකුට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමටද අධිකරණය කටයුතු කළේය.
මෙම විත්තිකරුවන් සිව්දෙනාට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්රහයේ 365ආ(2)(ආ) වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් අනුරාධපුර ළමා අපරාධ පිළිබඳ විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබූ අතර, එම චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීමෙන් අනතුරුව මෙම දඬුවම් නියම කර තිබේ.
මෙම නඩු තීන්දු මගින් ළමා ලිංගික අපරාධ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්රියාත්මක කිරීම සහ එවැනි අපරාධවලට එරෙහිව දැඩි නීතිමය ප්රතිචාරයක් ලබාදීම පිළිබඳ පැහැදිලි පණිවිඩයක් සමාජයට ලබාදෙන බව නීති ක්ෂේත්රයේ නිරීක්ෂකයන්ගේ අදහස වී තිබේ.
