වැටුණු තැනම පල්වෙන ආර්ථිකය

 sri lanakan economy

සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ පසුගිය ජනවාරි මාසයේ දත්ත වාර්තා අනුව එක් පුද්ගලයකුට සිය අවශ්‍යතා සපුරා ගැනීමට මාසයක් සඳහා රුපියල් 17014 ක සාමාන්‍ය අගයක් වැයවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කොට තිබුණි. මේ වාර්තාවෙන් කියැවෙන කරුණු අනුව පසුගිය වසරවලට සාපේක්ෂව බලන කල්හී මෙම අගය කුමන මට්ටමක් පෙන්නුම් කරන්නේ ද යන්න විමසා බැලිය යුතු ය.

කොවිඩ් වසංගතයේ ද බලපෑම   ඇතිව 2020  වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ඇති වූ  තත්වය අප මේ කතා කරන කාරණයේ පසුබිම සාකච්ජා කිරීමේ දී වැදගත් වේ. එහි දී දැකිය හැක්කේ සාර්ව ආර්ථික විචල්‍යයන් සියල්ලම අයහපත් ආකාරයට වර්ධනය වූ තත්වයකි.  උද්ධමනය, විදේශ සංචිත අඩුවීම ආදි හේතු නිසා භාණ්ඩවල මිල ශීඝ්‍ර ලෙස ඉහළ යන්නට විය. ඇතැම් භාණ්ඩවල මිල ඉහළ යාම සියයට තුන්සියයක් පමණ වෙයි. මෙරට මැද පන්තිය බහුලව පාවිච්චියට ගන්නා ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1300 සිට අද වන විට රුපියල් 4115 දක්වා මිල වැඩි වී තිබේ. තෙල් මිල රුපියල් 167 සිට රුපියල් 371 දක්වා මිල ඉහළ ගොස් තිබේ.

දුප්පත් ජනතාව නිතර පරිභෝජනයට ගන්නා භූමිතෙල්වල මිල මේ කාලය තුළ රුපියල් 70 සිට රුපියල් 236 දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් වසංගතයට පෙර රුපියල් 70 ට 80 ට පැවැති සහල් මිල රුපියල් 200 කට වඩා වැඩි මිලක් දක්වා ඉහළ යාමකි. දිළිදු ජනයා තම ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා භාවිත කරන බිත්තරයක් කොවිඩ් වසංගතයට පෙර පැවැතියේ රුපියල් 16 ක් තරම් මිලකට ය. එහෙත් එය අදවන විට රුපියල් 40 සහ 50  දක්වා මිල ඉහළ ගොස් තිබේ.

2020 සිට 2024 දක්වා කාලය තුළ මේ කියන උද්ධමනය සහ ව්‍යාපාර කඩා වැටීම නිසා තව දෙයක් සිදු විය. එනම් ලක්ෂ පහකට හයකට ආසන්න ප්‍රමාණයක රැකියා අහිමි වී තිබීම ය.  රටේ ආර්ථිකය සියයට 16 කින් සංකෝචනය වී ඇති බව අපි දනිමු. 2018 දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො.බි. 89 ක පමණ අගය කි. එය 2023 වනවිට ඇ.ඩො.බි. 70 ත් 75 ත් අතර අගයක් දක්වා පැමිණ තිබේ. මේ තත්වය ගණනය කොට බැලූ විට එය සියයට 16  කින් පමණ ආර්ථිකය  සංකෝචනය වීමකි. දළ දේශීය නිෂ්පාදිතය සියයට දෙකකින් සංකෝචනය වන විට සේවා වියුක්තිය සියයට එකකින් ඉහළ යාම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එසේ නම් දළ දේශීය නිෂ්පාදිතය සියයට 16 කින් සංකෝචනය වීම යනු සේවා වියුක්තිය සියයට 8 කින් පමණ ඉහළ යෑමකි. මෙරට සමස්ත  වැඩ කරන ජනතාවගෙන් සියයට 8 ක් යනු ලක්ෂ 6ක පමණ ප්‍රමාණයකි.

මේ කාලය තුළම සිදු වූ තවත් විශේෂ ම කරුණක් වන්නේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල කඩාවැටීම ය. ලක්ෂ හයකට පමණ රැකියා අහිමිවීමට බලපෑ ප්‍රධානතම කාරණය වූයේ ද මෙම කර්මාන්තවල කඩාවැටීම වේ. වාසනාවකට අද වන විට සංචාරක කර්මාන්තයේ යම් ප්‍රගතියක් දක්නට ඇතත් ගත වූ පසු ගිය කාලයේ සංචාරක ක්ෂේත්‍රයේ  සිදු වූ  කඩාවැටීම අදටත් මෙරට ආර්ථිකයට බලපෑම් කොට තිබේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2024 නිකුත් කොට ඇති වාර්තාවට අනුව  2018  ට සාපේක්ෂව 2022 වන විට මෙරට මධ්‍ය පරිමාණ ව්‍යාපාර සියයට 50 කින්  වැසී ගොස් ඇත. එය බහුලවම  සිදු  වී ඇත්තේ 2021 -2022 කාලයේ ය.  කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ මධ්‍ය  පරිමාණ ව්‍යාපාරයක් යනු සාමාන්‍යයෙන් සේවකයන් 25 ත් 44 ත් අතර සංඛ්‍යාවක් සේවය කරන ස්ථාන වේ. මේ වන විට මෙවැනි සේවාවල යෙදුණු සේවකයන් බහුතරයකට රැකියා අහිමි වී තිබේ.

අනෙක් අතින් ගත වූ මේ කාලය තුළ  ජනතාවගේ ආදායම්වල ඉහළ යාමක් දැකිය නොහැකි ය. රාජ්‍ය සේවකයන්ගේ යම් වැටුප් වැඩිවීමක් සිදු වූයේ ද මේ වසරේ දී ය. එහෙත් 2020 දී සිදු වූ ආර්ථික කඩා වැටීම 2024 වන විට සම්පූර්ණයෙන් යථා තත්වයට පත්ව තිබේ ද? භාණ්ඩවල මිල වැඩිවීමට සාපේක්ෂව එය දැරිය හැකි මට්ටමින් බහුතර ජනතාවගේ ආදායම ඉහළ ගොස් තිබේ ද? නැත. ආදායම ඉහළ යාම කෙසේ වෙතත් සිදුවී ඇත්තේ බොහෝ දෙනාගේ පැවැති ආදායම් ද අහිමිවීම ය. ඒ අහිමිවීමට හේතු වී ඇත්තේ මුලින් සඳහන් කළ රැකියා අහිමිවීම, ව්‍යාපාර කඩා වැටීම ආදී හේතු ය. අනෙක් ප්‍රධාන කාරණය බදු පැනවීම ය. මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යන විට, ආදායම අඩුවන විට, ලැබෙන ආදායමටත් විශාල බදු ප්‍රමාණයක් මෑත කාලයේ ජනතාව මත පැටවිණ. ඉහළ, මැද හා පහළ මධ්‍යම පන්තියේ බොහෝ දෙනා ආදායම් බදුවලට හසු වෙති. එම ආදායම් බද්දේ උපරිමය සියයට 36 දක්වා වර්ධනය වීම විශාල වැඩිවීමකි. එහි බදු සීමාව රුපියල් ලක්ෂ දෙක හමාරේ සිට ලක්ෂය දක්වා අඩු විය. බදු සංශෝධන සිදු විය යුතු බව ඇත්ත ය. එහෙත් මේ දැඩි බදු ජනතාව මත පැටවෙන්නේ ජනතාව ආර්ථික වශයෙන් බරපතළ පීඩාවන්ට මුහුණ දෙන අවස්ථාවක ය. මේ සියල්ලෙන් සිදුවන්නේ රටේ සාමාන්‍ය ජනතාවට එක වර පහර එල්ලවීම ය.

එසේම එකතු කළ අගය මත බද්ද රටේ සියලු‍ ජනතාවට බලපාන්නකි. පසුගිය කාලය තුළ මෙම බද්දෙහි සංශෝධන විශාල සංඛ්‍යාවක් සිදු විය. එසේම බදු පදනම වෙනස් විය. බදු සීමා පහළ දැමිණ. බදු අය නොකළ භාණ්ඩ 138 ක් අතුරින් 98 ක් සඳහා එකතු කළ අගය මත බදු පැනවිණ. ඉන් ඇතැම් ඒවා පාසල් උපකරණ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ වේ. මේ නිසා පීඩනයට ලක් වූයේ සාමාන්‍ය ජනතාවයි. දැන් අප විමසිය යුත්තේ මේ අර්බුදයෙන් එළියට එන්නට තරම් ආර්ථික වර්ධනයක් අපේ රටේ තිබෙනවා ද යන්නයි.

කෙසේ වෙතත් මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් මෑත කාලයේ විවිධ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කෙරෙන බව පෙනේ. උද්ධමනයේ අඩුවීමක් ගැන ද සාකච්ජා වෙයි. 2024 පළමු කාර්තුවේ දී සියයට 1.6 ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව ද කියැවේ. ඒත් 1.6 ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන්නේ සියයට 16 ක ආර්ථික හැකිළීමක් තුළ ය. එසේ නම් මේ සංඛ්‍යා දත්තවලින් පිළිබිඹු වන අන්දමේ, මාධ්‍යයේ කියන අන්දමේ ආර්ථික ප්‍රගතියක් ලබා නැති බව පෙනේ. මෑත ම කාලයේ ඉතා සුළු වශයෙන් මිල ගණන්වල අඩුවීම් දැකිය හැකි ය. එහෙත්  එය  පෙර පැවති විශාල මිල වැඩිවීම් අනුව බලද්දී සුළු අඩුවීමකි. ඒ තුළත් සුපිරි ඩීසල් සහ 95 පෙට්‍රල් මිල යම් ප්‍රමාණයකට අඩු වුවත් එය සාමාන්‍ය ජනතාවට දැනෙන්නේ නැත. ඒ සහනය රටේ සාමාන්‍ය ජනයාට දැනෙන්නට නම් භූමිතෙල් මිල අඩු කළ යුතු ය. 92 වර්ගයේ පෙට්‍රල් මිල අඩු කළ  යුතු ය. සාමාන්‍ය ඩීසල් මිල අඩු කළ යුතු ය. සුපිරි පන්නයේ තෙල් පාවිච්චි කරන්නෝ සුපිරි පන්නයේ මිනිස්සු වෙති. ඔවුහු සුපිරි වාහන හිමියෝ වෙති. එසේ නම් මේ මිල අඩු කිරීමේ පදනම, අරමුණ කුමක්ද?

මේ අර්බුදයේ දී ජනතාවට පසුගිය කාලයේ දැඩි බලපෑමක් කළ අනෙක් කාරණය වන්නේ විදුලි බිලේ ඉහළ යාම ය. එය මොනතරම් අර්බුදයකට ලක් වූයේ දැයි කිවහොත් ලක්ෂ පහකට ආසන්න පවුල් ගණනකට විදුලි බිල ගෙවාගත නොහැකි තත්වයක් ඇති විය. විදුලි බිල දැන් අඩු වී ඇතත් ඒ අඩු කිරීම කළේ විශාල මිල ඉහළ දැමීමකින් ජනතාව අපහසුතාවට පත් වූ පරිසරයක් නිර්මාණයවීමෙන් පසුව ය. ඒ සියල්ලේ මිල ඉහළ යාම් අනුව සාමාන්‍ය ජනතාවගේ ආදායම් වර්ධනය වී නැත. අපේ රටේ දැනට  ගණනය කිරීම් අනුව දරිද්‍රතා රේඛාව ආසන්නයේ හෝ  ඊට පහළින් සිටින ප්‍රමාණය සියයට 25 ත් 30 ත් අතර ය. මොවුන්ගේ ආදායම වැඩි වී නැත.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2021 වන විට දරිද්‍රතා රේඛාව පැවැතියේ එක් පුද්ගලයකුට මාසිකව රුපියල් 5181 ක් වශයෙනි. එහෙත් 2024 ජනවාරි සංඛ්‍යා දත්ත අනුව දරිද්‍රතා රේඛාව එක් පුද්ගලයකුට රුපියල් 17014 දක්වා වැඩි වී ඇත. මේ අනුව කියැවෙන්නේ කුමක් ද? එක් පුද්ගලයකු තම මූලික අවශ්‍යතා සපුරාගැනීමට යෙදවිය යුතු මුදල සියයට තුන්සියයකින් පමණ වැඩි වී ඇති බවයි. එහෙත් මේ මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට අවශ්‍ය ආදායමේ වර්ධනයක් සිදු වී නැත. එයින් අදහස් වන්නේ රටේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන බව ය. මෙය ඉතාම ඛේදනීය තත්වයකි. අඩු ගණනේ අවම අවශ්‍යතා ටිකවත් සරි කොට ගත නොහැකි තත්වයකි.

බහුමාන දරිද්‍රතා දර්ශකය අනුව ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් කෙරෙහි අවධානය යොමුවේ. එනම් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ජීවන තත්වයයි. ජීවන තත්වය තුළ මිනිසාගේ මූලික අවශ්‍යතා ඉටු කොට ගැනීමට අපට ඇති නොහැකියාව ඉහත පෙන්වා දුන් කරුණු අනුව පැහැදිලි ය. අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන අංශ දෙකත් මේ වන විට පහත මට්ටමකට වැටී තිබේ. ළමයින් දෙසීයට අඩු පාසල් 800 ක් මේ වන විට වැසී ගොස් තිබේ.

දරිද්‍රතා රේඛාව අනුව ඒක පුද්ගල වියදම රුපියල් 17014 ක් වනවිට  පස්  දෙනකු සිටින පවුලකට මාසික වියදම රුපියල් 85000 ක් පමණ අවශ්‍ය වේ. අද රජයේ පාසලක උගන්වන ගුරුවරයකුගේ වැටුප රුපියල් 60000 කට ආසන්න මුදලකි. එවැනි පවුලක පස් දෙනෙකු සිටියොත් එම ගුරුවරයාගේ ආර්ථික මට්ටම ගණනය කරන්නට සිදුවන්නේ ද අප මුලින් කී දරිද්‍රතා රේඛාවට පහළිනි. ලංකාවේ බහුතර වෘත්තිකයන්ට ලැබෙන්නේ රුපියල් ලක්ෂයකට අඩු මාසික වැටුපක් බව ද පැහැදිලි ය. අවිධිමත් ක්ෂේත්‍රවල රැකියා කරන්නන්ගේ ආදායම් තත්වය මීටත් වඩා පහළ මට්ටමක තිබිය හැකි ය.

රටක ආර්ථිකයේ කොඳු නාරටිය වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වේ. එම ව්‍යාපාරවල දියුණුවීම මත රටේ ජනතාවගේ දියුණුව ද තීරණය වේ. එහෙත් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩනැගීම සම්බන්ධව ඇත්තේ සතුටුදායක තත්වයක් නොවේ. අප ප්‍රතිපත්ති සකස් කළ යුත්තේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා පමණක් නොවේ. පරාටේ නීතිය හරහා ලංකාවේ තුන්දහසකට ආසන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවරාගෙන ඇත. ඇතැම් ව්‍යවසායකයන් තම ව්‍යාපාර නවතා දමා තිබේ. මෙය රටකට ඉතාම අහිතකර තත්වයකි. ඒ නිසා අප ඉතාම යුහුසුලු‍ව ප්‍රතිපත්ති සකස් කළ යුත්තේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු කිරීම වෙනුවෙනි. ආයෝජන අවස්ථා උදා කිරීම වෙනුවෙනි. යෝජනා ප්‍රතිපත්තිවලට පමණක් සීමාවන මේ මහ පොළොවේ පැළ නොවන වැඩපිළිවෙළකින් අපට අපේක්ෂිත අරමුණු ඉටු කොට ගත නොහැකි ය. අනෙක් අතින් ප්‍රතිපත්ති සම්පාදනයේ දී බුද්ධි ගලනය වැනි කාරණා දෙස ඉතාමත් සරලව බැලීම අවාසි සහගත තත්වයකි. අද මෙම තත්වය බහුලව දැකිය හැකිය. එහි දීර්ඝකාලීන ප්‍රතිඵල දකින්නට හැකිවනු ඇත.

 

 economic problems in sri lanka

(සටහන – ගාමිණී කන්දේපොළ)

www.dinamina.lk

Social Sharing
අවකාශය නවතම විශේෂාංග