නීතිවිරෝධී ලෙස රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක් වෙන්න එපා – ලාංකීය ත්‍රිවිද හමුදා නිළදාරීන්ට උපදෙස්

නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

රුසියානු හමුදාවට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් එක්වන බවට තොරතුරු අනාවරණය වන අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ කිසිදු සබඳතාවයක් නොමැති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

රුසියානු හමුදාවට එක්වු මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පසුගිය දා මියගොස් ඇති බවට අල්ජසීරා පුවත් සේවය සිදුකළ අනාවරණයත් සමග ඒ සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබේ.

කෙසේවෙතත් මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති  බවට මේ දක්වාත් තානාපති කාර්යාල හරහා මෙරටට දැනුම් දී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් රුසියාවේ සේවයට යොමු කිරීම සඳහා මෙරට හමුදාව සහ රුසියානු හමුදාව අතර කිසිදු එකඟතාවක් නොමැති පසුබිමක මෙවැනි සිදුවීම් මෙරට කීර්තිනාමයට හානියක් එල්ල කරන බව ද ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය.

මෙම තත්ත්වය තුළ මෙරට හමුදා සාමාජිකයින්ට රුසියානු හමුදාව සමග එක්නොවන ලෙස දැනුම් දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර යුක්‍රේන හමුදාවේ සේවය කරමින් සිටිය දී කපිතාන්වරයෙකු ඇතුළු ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇති බවට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී තොරතුරු වාර්තා වුණි.

Social Sharing
නවතම පුවත්