ළමා අසභ්‍ය වීඩියෝපට සහ නිරුවත් ඡායාරූප පිලිබඳ පැමිණිලි භාරගැනීමට අන්තර්ජාලය ඔස්සේ නව ක්‍රමවේදයක්

ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීම සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවිය හරහා අදාළ පැමිණිලි සිදුකිරීමට අද දිනයේ සිට අවස්ථාව හිමිවනු ඇති බවය.

මෙම ක්‍රමවේදය හරහා ලැබෙන පැමිණිලි සෘජුවම එංගලන්තයේ  “ඉන්ටනැෂනල් වොච් ෆවුන්ඩේෂන් නමැති ආයතනය වෙත වාර්තා කිරීම සිදු වෙයි.

අනතුරුව එම ආයතනය මගින් අදාළ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

එමෙන්ම පැමිණිලි පිළිබඳ විමර්ශනය සිදුකර ඊට සම්බන්ධ පාර්ශ්වයන් කවුරුන්ද යන්න සොයා බලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද අන්තර්ජාතික පොලීසිය හරහා සිදුකිරීමට නියමිතය.

පසුගිය කාලය තුළ ද ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශන සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය වෙත මුදාහැරීම් සම්බන්ධයෙන් පැමිණිලි බොහෝ සංඛ්‍යාවත් ලැබී ඇති බව වාර්තා වෙයි.

Social Sharing
නවතම පුවත්