ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන IMF එකෙන් අහලා වැඩක් නෑ හඳුන්නෙත්ති ඒක තේරුම් ගත යුතුයි – ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය

අපේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විමසිය යුත්තේ අදාළ ණය හිමියන්ගෙන් මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නොවන බව තේරුම් ගැනීමටවත් සුනිල් හඳුන්නෙත්තිට ප්‍රායෝගික දැනුමක් නැති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවැසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී රත්නප්‍රිය මහතා මෙසේද කීය.

“ශ්‍රී ලංකාවේ සිදු වුණු වෙනස ගැන අදහගන්න බැරි බවත් ඒ පිළිබඳව සතුටු වන බවත් දින දෙකකට පෙර ජපානයේ විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කළා. මේ ආකාරයට ගොඩගත්ත රටක් ලෝකේ නැති බව ජපන් විදේශ ඇමැතිවරයා ඇතුළු පිරිස සඳහන් කළා.

මෙවැනි වාතාවරණයක් අතරතුරේ පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්වුණා. කරුණු දාහතරක් පිළිබඳව මූලික වශයෙන් ශ්‍රී ලංකාව කොන්දේසි ඉටු කර තිබෙන බව සඳහන් වුණා. ඒ වගේම තවත් කාරණා දෙකක් ගැන යම්කිසි ආකාරයක ගැටලුසහගත තත්ත්වයක් තිබුණා. අල්ලස් කොමිසම ශක්තිමත් කිරීම සහ රාජ්‍ය යන්ත්‍රණය නිවැරදි කිරීම ගැන. ඒ වගේම රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තු සම්බන්ධව යම්කිසි ආකාරයක ගැටලු තිබෙනවා. ඒවා නිවැරදි කරමින් ඉදිරියට යෑම සිදු වෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම් හම්බවුණා. එයට අනුර කුමාර දිසානායක සහභාගි වුණේ නැහැ. සුනිල් හඳුන්නෙත්ති සහ විජිත හේරත් සාකච්ඡාවට සහභාගි වුණා. සුනිල් හඳුන්නෙත්ති සාකච්ඡාවෙන් පස්සේ එළියට ඇවිත් කියනවා. “ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව අපි ඔවුන්ගෙන් ඇහුවා. ඔවුන් ළඟ එහෙම තොරතුරක් නැහැ. මේ ආණ්ඩුව බොරුවක් කරන්නේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වෙන්නේ නැහැ කියලා“.මෙයින් ඔප්පු වෙන්නේ සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රායෝගික දැනුමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළ ප්‍රශ්නයක් නොවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආර්ථික සහ දේශපාලන කොන්දේසි දහසයක් ඉදිරිපත් කර ඒ පිළිබඳ සාකච්ඡා කරගෙන යනවා.ණය ප්‍රතිව්‍යුගතකරණය කරන්නේ ඒ ඒ ණය හිමියන් එක්කයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන ජනතා විමුක්ති පෙරමුණට තොරතුරු දැනගන්න ඕනෑ නම් එක්කෝ ආණ්ඩුවෙන් අහන්න ඕනෑ එහෙම නැත්නම් පැරිස් සමාජය වගේ අය හම්බෙලා අහන්න ඕනෑ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා අපට පළමු සහ දෙවැනි වාරික ලැබුණා. වසර හතරක් දක්වා ඉදිරියට මේ දේවල් සිදුවෙමින් තිබෙනවා. මූලික වශයෙන් පැරිස් සමාජය සමඟ ප්‍රංශයත් මුල් කරගෙන මේ දේ සිදු වෙනවා. ඉන්දියාව සහ චීනය එකඟ වෙලා තිබෙනවා.

බලයට ආ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්ලග් එක ගලවනවා කියපු අය දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කතා කරනවා. ඉන්දියාවට ගිහින් කතා කරනවා. එදා වරාය හදද්දී විරුද්ධ වුණ අය ද අදානිලා මුකේෂ් අම්බානි එක්ක කතා කරනවා. ඔවුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය හෙළිවෙමින් තිබෙනවා.

ඩලස් අලහප්පෙරුම කියනවා රනිල් වික්‍රමසිංහ ෆ්‍රී වයිෆයි දෙන්න පොරොන්දු වුණා. දැන් දුන්න ද කියලා අහනවා. දැන් ජනාධිපතිවරයා කතා කරන්නේ කෘත්‍රිම බුද්ධිය ගැනයි. රට ආර්ථික වැටෙන වෙලාවේ වයිෆයි ගැන කතා කරන එක තේරුමක් තියෙනව ද. දුප්පත්කම වැඩිවෙලා ලක්ෂ 24කට අස්වැසුම දීලා සහන මල්ලක් දෙන්න අවශ්‍යයැයි. ඩලස්ට මොළේ මඤ්ඤද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඩලස්ට කියන්න තියෙන්නේ කලබල වෙන්න එපා මේ වැටුණ රට ගොඩගන්නකම් ඔයගොල්ලෝ පැත්තකට වෙලා හිටියා නම් ගැටලුවක් නෑ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගොඩගන්න කෝටි දෙදහක ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබෙනවා. ඩොලර් එක රුපියල් 300කට වඩා අඩු වී තිබෙනවා. රුපියල ශක්තිමත් වුණාම අපේ භාණ්ඩ මිල පහළයෑම සිදු වෙනවා. ජනමත විමසුම්වලින් අනුර කුමාර ඒක කියලා කියව කියව ඉන්නවා. ඒ සමීක්ෂණවලට මුදල් එන්නේ කොහොමද කියන එකත් වෙනම සොයා බැලිය යුතුයි. අරගලයෙන් ලැබුණු මහජන විරෝධය තමන්ට බලය ලබා ගැනීමට ජවිපෙ පාවිච්චි කරමින් ඉන්නවා.

Social Sharing
නවතම විශේෂාංග