ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී කෙටුම්පත සංශෝධනය කිරීම සම්බන්ධ යෝජනා…

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී කෙටුම්පත සංශෝධනය කිරීම සම්බන්ධ යෝජනා කිහිපයක් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මාධ්‍ය නිවේදනයක් හරහා ඉදිරිපත් කර තිබෙනවා. එම නිවේදනය පහත සඳහන් වේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යනු ස්වාධින දේශපාලන පක්ෂවාදිත්වයෙන් තොර සංවිධානයක් වන අතර මූලික වශයෙන් රාජ්‍යකරණය සහ ගැටුම් නිරාකරණය හා සබැඳි ගැටලු කෙරෙහි අවධානය යොමු කරයි. යහපත් දේශපාලන සංස්කෘතියක් සහ සමාජ වට පිටාවක් ගොඩ නගා ගැනීම සඳහා මහජන ප්‍රතිපත්තීන් විවේචනාත්මක විමර්ශනයට භාජනය කරන, විකල්පයන් හඳුනා ගන්නා හා ඒවා ව්‍යාප්ත කරන පර්යේෂණ හා බලපෑම් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් අප කැපවී සිටිමු.

මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති සමග 22අනනුකූල වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය එසේ දැනුම් දී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන අතර ඊට එහා ගිය බොහෝ ගැටලු ප්‍රමාණයක් මෙම පනත් කෙටුම් පතෙහි අන්තර්ගත වන බව අපගේ අදහසයි.

  • විශේෂයෙන් ම මිලියන තුනකට ආසන්න ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ඇති පුරවැසියන් දෘෂ්ටිකෝණයෙන් බලන කල මේ පනත ඔස්සේ ආරක්ෂා වන්නේ ණය ගැනුම් කරුවන් නොව ණය ලබා දෙන්නන් ය. නමුත් අපගේ ප්‍රධාන තර්කය වනුයේ ණය ගැනුම් කරුවන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ පහසුව ප්‍රමුඛකොට ගෙන මෙම පනත සංශෝධනය විය යුතු බව ය.
  • එසේ ම ණය ලබාදෙන සියලු ම ආයතන නියාමනය කිරීම වැදගත් වන අතර එහිදී ප්‍රජා සංවිධාන ආරක්ෂා කරමින් ඒවා සංවර්ධනය කිරීමට ආදාළ ප්‍රතිපාදන ඇතුළත් විය යුතු ය. නැතිනම් සිදු වන්නේ ණය දෙන ව්‍යාපාරික ආයතන ආරක්ෂා වෙමින් කුඩා ප්‍රජා සංවිධානවලට අසාධාරණකම් සිදු වීමයි. කුඩා පරිමාණයේ ප්‍රජාමූල සංවිධාන හා විශේෂයෙන් ම කාන්තා කණ්ඩායම් විසින් ඉතා සාධාරණව හා ප්‍රජා අයිතිවාසිකම් ආක්ෂාවන අන්දමින් මෙන්ම චිරස්ථායී පදනමකින් කටයුතු කරන කොටස්වල ක්‍රියාකාරීත්වය අක්‍රිය වීමට මෙම පනත හේතු විය හැකි ය.
  • තව ද පාර්ලිමේන්තුවේ පැවති ‘ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම’ පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටු සාකච්ඡාවේදී සියලු දෙනාගේ අදහස වූයේ මේ පනත වහාම අත්හිටවිය යුතු බව ය.
  • පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සංවිධානයක් වශයෙන් අපගේ අදහස වනුයේ, මෙවැනි පණතක් ගෙන ඒම කාලීන අවශ්‍යතාවක් වන බවත් පනතේ සාධනීය අංග ආරක්ෂා කරමින් නිශේධනීය අංග ඉවත් කර වින්දිතයන් ආරක්ෂාවන අයුරෙන් මේ පතන සංශෝධනය කළ යුතු බව ය.

ඒ අනුව මේ සියලු කරුණු සළකා බලා ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන පනත් කෙටුම්පත නැවත සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසත් එතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අත්හිටුවන ලෙසත් ඉල්ලා විකල්ප ප්‍රතිත්ති කේන්ද්‍රය විසින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට, කතා නායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාට සහ මුදල් රාජ්‍ය ඇමතිවරු වන අසංක ෂෙහාන් සේමසිංහ මැතිතුමා, රංජිත් සියඹලාපිටිය මැතිතුමා වෙත ලිපි යවා ඇති අතර මේ  සම්බන්ධයෙන් ඔබ මාධ්‍ය ආයතනයේ පළ කරමින් ක්ෂුද්‍ර මූල්‍ය පනත වඩාත් හිතකර අයුරින් මෙම පනත සම්මත කර ගැනීමට අදාළ සමාජ සංවාදයක් ගොඩනගන මෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි!

ලයනල් ගුරුගේ,

ජ්‍යේෂ්ඨ පර්යේෂක,

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය.

Social Sharing
අවකාශය නවතම පුවත්