පොදු ප්‍රවාහන සේවාවලදී හිරිහැර කළ 42ක් අත්අඩංගුවට…

ළමයින්ට හා කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීමට ඊයේ(07) සිට ඇරඹි විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 42 දෙනෙකු පෙලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර ලිංගික අතවර චෝදනා එල්ල වූ සැකකරුවන් 18 දෙනෙකු සහ පික්පොකට් කරුවන් 5 දෙනෙකු ද වේ.

පොදු ප්‍රවාහන සේවා වලදී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට දෛනිකව පොලිස් ස්ථාන වලට වාර්තාවන පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම මෙහෙයුම මගින් මහජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පැය 0800 සිට පැය 1000 දක්වා සහ පැය 1700 සිට පැය 1900 දක්වා කාලයේදී වැඩි ප්‍රමුඛත්වය ලබාදී මෙහෙයුම් සිදු කරන ලෙසට එමගින් උපදෙස් ලබාදී ඇත.

මෙහිදී සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිළධාරීන් කණ්ඩායම බැගින් බස් රථ වල ගමන් කරවීමට කටයුතු කරනු ලබන අතර, මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන වීදි, බස්නැවතුම් පල, දුම්රිය ස්ථාන ආදි ස්ථාන වෙතද විශේෂ අවධානයක් යොමු කරනු ලබයි.

මෙම මෙහෙයුම් සිදුකරන කාල සිමාව තුළ නිල ඇදුමින් පොලිස් නිළධාරීන් කණ්ඩායම් (විශේෂයෙන්ම ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි) සිවිල් ඇදුමින් ගමන් ගන්නා නිළධාරීන්ට සහයක් අවශ්‍ය වු විට නොපමාව එම සහාය ලබාදීමට හැකි වන පරිදි සුදානම් කර තැබීමටද කටයුතු සුදානම් කර ඇති බවද පොලිස් මුලස්ථානය වැඩිදුරත් සදහන් කරයි.

Social Sharing
නවතම පුවත්