වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය හා “කොටස්කරණය”

වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය ගැන නොලියන්නේ ඇයි කියා එක් අයෙකු විසින් අසා තිබුණා. සාධාරණ ප්‍රශ්නයක්නේ. ඒ නිසා මේ ලිපිය ඒ වෙනුවෙන් වෙන් කරමු.

පෙර ලිපි වල විස්තර කළ පරිදි වියට්නාමය කියන්නේ කාලයක් සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක් ක්‍රියාත්මක වූ රටක්. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති වියට්නාමයේ, කොමියුනිස්ට් පක්ෂ පාලනය යටතේ මේ මධ්‍යගත සැලසුම් ක්‍රමය පූර්ණ වශයෙන්ම ක්‍රියාත්මක වුනා. ඒ කියන්නේ 1986 වන තුරු වියට්නාමයේ ව්‍යවසාය කියන්නේ රාජ්‍ය ව්‍යවසායම තමයි.

සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ මෙන්ම ඊට පෙර ඇතැම් වකවානු වලදීද ලංකාව මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක් වෙත ටිකෙන් ටික විතැන් වුනත් ලංකාවේ වියට්නාමයේ මෙන් පූර්ණ මධ්‍යගත සැලසුම් ක්‍රමයක් ක්‍රියාත්මක වුනේ නැහැ. ඒ පැත්තට ටිකෙන් ටික යද්දී රටේ මිනිස්සු ආණ්ඩුව මාරු කළා.

“ඩොයි මූයි” ප්‍රතිසංස්කරණ වලට පෙර වියට්නාමයේ රාජ්‍ය අංශය ලංකාවේ රාජ්‍ය අංශය හා සම කළ හැකි මට්ට්මක තිබුණු එකක් නෙමෙයි. ඒ වගේ තැනක ඉඳන් නිදහස් වෙළඳපොළ ප්‍රතිසංස්කරණ පටන් ගෙන දශක ගණනක් ගියාට පසුවත් රටක සැලකිය යුතු රාජ්‍ය අංශයක් ඉතිරි වෙනවා. වියට්නාමයේ තරම් විශාල රාජ්‍ය අංශයක් කෙදිනක හෝ නොතිබුණු ලංකාවේ පවා තවමත් සැලකිය යුතු තරමේ විශාල රාජ්‍ය අංශයක් තියෙද්දී කලකට පෙර පූර්ණ රාජ්‍ය අංශයක් පැවති වියට්නාමයේ එය එසේ නොවෙන්න හේතුවක් නැහැනේ.

වැදගත් කරුණ වන්නේ කාලයක සිටම වියට්නාමය විසින් එරට රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කරමින් සිටිනවා කියන එකයි. හැබැයි ඔවුන් එසේ කිරීමේදී “පෞද්ගලීකරණය” යන වචනය හැම විටම භාවිතා කරන්නේ නැහැ. ඒ වෙනුවට වියට්නාමය වැඩිපුර භාවිතා කරන්නේ “කොටස්කරණය (equitisation)” යන වචනයයි. ඒක ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී “ප්‍රසස්තකරණය” යන වචනය භාවිතා කළා වගේ දෙයක්. “Equitisation” (වියට්නාම් භාෂාවෙන් Cổ phần hóa) යන වචනය “වියට්නාම් ඉංග්‍රීසි” වචනයක් සේ සැලකෙනවා.

අවශ්‍යනම් කෙනෙකුට කොටස්කරණය කියන්නේ පෞද්ගලීකරණය නෙමෙයි කියා තර්ක කරන්න පුළුවන්. එවැනි තර්ක වලට පිළිතුරු දීම සඳහා කාලය නාස්ති කරන්න අදහසක් නැහැ. නම මොකක් වුනත් වියට්නාමයේ වෙන්නේ රාජ්‍ය ව්‍යවසාය වල අයිතිය කොටස් කර එම කොටස් දේශීය හා විදේශීය පෞද්ගලික අංශයට විකුණන එකයි.

වියට්නාමයේ පෞද්ගලීකරණ ක්‍රියාවලිය පටන් ගත්තේ කෘෂිකාර්මික අංශයෙන්. එහිදී සමූහ ගොවිපොළ ක්‍රමය වෙනුවට පෞද්ගලික ඉඩම් අයිතිය ආදේශ වුනා. එම ප්‍රතිසංස්කරණය පමණක්ම වුනත් රටේ ආහාර ප්‍රශ්නය හා දරිද්‍රතා ප්‍රශ්නය බොහෝ දුරට විසඳුවා.

පෙර ලිපියේ සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, වියට්නාමයේ පළාත් අතර ඒක පුද්ගල ආදායමේ විශාල වෙනස්කම් තිබෙනවා. 2009දී පළ කළ එක්තරා පර්යේෂණ පත්‍රිකාවකට අනුව [1], කිසියම් පළාතක ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසාය ප්‍රමාණයේ ඝනත්වය වැඩි වන තරමට එම ප්‍රදේශයේ ඒක පුද්ගල ආදායම අඩුයි. එය සිදු වන යාන්ත්‍රනයද එම පර්යේෂණ පත්‍රිකාවේ විස්තර කරනවා.

[1] Van Thang, N., and N. Freeman, 2009, “State-Owned Enterprises in Vietnam: Are They ‘Crowing Out’ the Private Sector?” Post-Communist Economies, Vol. 21, pp. 227–247.

කිසියම් පළාතක රාජ්‍ය ව්‍යවසාය ප්‍රමාණය වැඩි තරමට එම රාජ්‍ය ව්‍යවසාය සඳහා රජයෙන් ලැබෙන වැඩි ප්‍රමුඛතාවය නිසා පෞද්ගලික ව්‍යවසාය වලට කුඩම්මාගේ සැලකිලි ලැබීමේ ප්‍රවණතාවද වැඩියි. උදාහරණයක් ලෙස එවැනි පළාත් වල පෞද්ගලික ආයෝජකයෙකුට බැංකු ණයක් ලබා ගැනීම වඩා අසීරුයි. ඒ නිසා, එවැනි පළාත් වල පෞද්ගලික ව්‍යවසාය ක්‍රියාකාරිත්වය අඩුයි. පෞද්ගලික ව්‍යවසාය වල දායකත්වය අඩු නිසා ආර්ථික ක්‍රියාකාරකම් වල කාර්යක්ෂමතාවයද අඩුයි. ඒ නිසා, ඒක පුද්ගල ආදායමද අඩුයි.

කෙසේ වුවත්, කොමියුනිස්ට් පක්ෂයක පාලනය යටතේ ඇති වියට්නාමය පවා මෙම තත්ත්වය නිවැරදිව හඳුනා ගෙන රාජ්‍ය අංශයේ ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් පෞද්ගලික අංශය වෙත විතැන් කරමින් සිටිනවා. පහත සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලිව දැකිය හැකි පරිදි වියට්නාම් දදේනිය තුළ ඇති රාජ්‍ය භාගය වසරින් වසර ක්‍රමයෙන් කුඩා වෙනවා.

Year State share of GDP (%)
2005 37.62
2006 36.69
2007 35.35
2008 35.07
2009 34.72
2010 24.18
2011 23.59
2012 23.56
2013 23.30
2014 23.08
2015 22.84
2016 22.78
2017 22.31
2018 21.34
2019 20.59
2020 20.67
2021 20.81
2022 20.53

පහත තිබෙන්නේ 2000 වසර සිට ගත වූ කාලය තුළ වියට්නාමයේ ව්‍යවසාය හිමිකාරිත්වයේ සංයුතිය වෙනස් වූ ආකාරයයි.

රාජ්‍ය අංශය:

2000- 5,759 (13.62%)

2021- 1,906 (0.27%)

රාජ්‍ය නොවන දේශීය:

2000- 35,004 (82.77%)

2021- 694,121 (96.59%)

විදේශීය:

2000- 1,525 (3.61%)

2021- 22,610 (3.15%)

මෙම කාලය තුළ රාජ්‍ය නොවන දේශීය ව්‍යවසාය ප්‍රමාණය විසි ගුණයකින්ද, විදේශ සමාගම් ප්‍රමාණය පහළොස් ගුණයකින්ද වැඩි වෙද්දී රාජ්‍ය ව්‍යවසාය ගණන තුනෙන් එකක් දක්වා අඩු වී තිබෙනවා. මීටත් වඩා කැපී පෙනෙන්නේ මෙම කාලය තුළ සේවා නියුක්ති සංයුතියේ සිදු වූ වෙනස් වීමයි.

රාජ්‍ය අංශය:

2000- 2,088,531 (59.05%)

2021- 978,200 (6.61%)

රාජ්‍ය නොවන දේශීය:

2000- 1,040,902 (29.43%)

2021- 8,604,400 (58.14%)

විදේශීය:

2000- 407,565 (11.52%)

2021- 1,044,851 (18.11%)

දැනටත් වියට්නාම් රජය සතුව ව්‍යවසාය සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා. 2021 වන විට මෙම ප්‍රමාණය 1,906ක්. එහෙත්, එම රාජ්‍ය ව්‍යවසාය වලින්ද වියට්නාම් රජයට පූර්ණ අයිතියක් තිබෙන්නේ ව්‍යවසාය 877ක පමණයි. ඉතිරි ව්‍යවසාය 1,029හිද 50% නොඉක්මවන කොටස් යම් ප්‍රමාණයක් දේශීය හා විදේශීය ආයෝජකයින්ට විකුණා අවසන්.

වියට්නාම් රජය ඉතිරි රාජ්‍ය ව්‍යවසාය සියල්ල හැකි ඉක්මනින් මොන විදිහකින් හෝ විකුණා දැමීමේ ඉලක්කයක නැහැ. උපාය මාර්ගිකව වැදගත් සේ හඳුනා ගන්නා ක්ෂේත්‍ර වල රාජ්‍ය ව්‍යවසාය වල කළමනාකරණ අයිතිය ඉක්මනින් අත නොහැර 50%ක කොටස් අයිතිය දිගටම තබා ගැනීමේ උත්සාහයක වියට්නාම් රජය නිරතව සිටිනවා. එහෙත්, මෙම ප්‍රවේශය ආයෝජකයින්ට ආකර්ශනීය නැහැ. ප්‍රායෝගිකව මේ වන විට පවතින තත්ත්වය වනුයේ ඉතිරි වී තිබෙන රාජ්‍ය ව්‍යවසාය වල කොටස් පහසුවෙන් විකිණිය නොහැකි වීමයි.

පහත තිබෙන්නේ පසුගිය කාලයේදී වියට්නාම් රජය විසින් “කොටස්කරණය” කළ, එහෙත් තවමත් රජය සතුව වැඩි හෝ සැලකිය යුතු කොටස් අයිතියක් තිබෙන, රාජ්‍ය ව්‍යවසාය දහයක්.

වියට්කොම් බැංකුව (Vietcombank): ඩොලර් බිලියන 15 ඉක්මවන වටිනාකමක් ඇති, විසි දහසකට වැඩි පිරිසක් සේවය කරන බැංකුවක්.  2008 වසරේදී රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමේ නියාමක ව්‍යාපෘතියක් ලෙස මෙම බැංකුවේ කොටස් සාර්ථක ලෙස වෙන්දේසි කරනු ලැබුවා.

වියටින් බැංකුව (Vietinbank): ඩොලර් බිලියන 75 ඉක්මවන වත්කම් ඇති වියට්නාමයේ දෙවන විශාලතම බැංකුවයි. තවමත් මෙහි වැඩි කොටස් අයිතිය වියට්නාමයේ මහ බැංකුවට වුවත් මෙම බැංකුවද 2009දී කොටස්කරණය කරනු ලැබුවා. සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් ජපානයේ මිට්සුබිෂි සමාගම සතුයි.

බාඕ වියට් (Bao Viet): වියට්නාමයේ ලොකුම රක්ෂණ සමාගමයි. 2007දී “කොටස්කරණය” කළ මෙම සමාගමේ කොටස් HSBC සහ ජපානයේ සුමිටෝමෝ රක්ෂණ සමාගම සතුයි.

වියට්නාම් වානේ සංස්ථාව: වියට්නාමයේ විශාලතම වානේ නිෂ්පාදකයා වන මෙම ආයතනය 2010 වසරේදී කොටස්කරණය කරනු ලැබුවා.

වියට්නාම් ඖෂධ සංස්ථාව (විනාපාර්ම්): වියට්නාමයේ විශාලතම ඖෂධ සමාගමයි. 1971දී ආරම්භ කළ මෙම ආයතනයේ කොටස් 2016දී වෙන්දේසි කෙරුණා.

වියට්නාම් එයාර්ලයින්ස්: වැඩි අයිතිය තවමත් රජයට වුවත් 2014 වසරේදී කොටස්කරණය කළා.

පෙට්‍රොලිමෙක්ස් (Petrolimex) සමාගම: වියට්නාමයේ ප්‍රධානම ගෑස් හා තෙල් නිෂ්පාදන සමාගමයි. මුලින්ම 2011 වසරේදී කොටස්කරණය කරනු ලැබූ අතර පසුව තවත් කොටස් විකුණා දමනු ලැබුවා.

විනාමිල්ක්: කලකට පෙර 1976 වසරේදී මධ්‍යගත සැලසුම් ආර්ථික ප්‍රතිපත්ති යටතේ නෙස්ලේ සමාගම ඇතුළු පෞද්ගලික කිරි නිෂ්පාදන සමාගම් තුනක් රජයට පවරාගෙන වියට්නාමයේ ප්‍රධානම කිරි නිෂ්පාදන ආයතනය බවට පත් වුනා. මේ වන විට මෙම සමාගමේ වැඩි කොටස් අයිතිය විදේශ සමාගම් සතුයි. රජය සතුව ඇති කොටස් ප්‍රමාණය 36%ක් පමණයි.

සැබෙකෝ (Sabeco): වියට්නාමයේ ප්‍රධාන බීර නිෂ්පාදන සමාගමයි. 2008 වසරේදී කොටස්කරණය කළ මෙම සමාගමේ කොටස් වලින් 36%ක් තවමත් රජය සතුයි. වැඩි කොටස් අයිතිය තායි සමාගමකටයි.

හබෙකෝ (Habeco): මෙය වියට්නාමයේ තෙවන විශාලතම බීර නිෂ්පාදන සමාගමයි. තවමත් වැඩි කොටස් අයිතිය රජයට වුවත් කාල්ස්බර්ග් සමාගමට සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් විකුණා දමා තිබෙනවා.

වියට්නාමය ඒක පුද්ගල ආදායම අනුව ලංකාව සිටින මට්ටමට පැමිණ තිබෙන්නේ ලිපියේ ඉහත විස්තර කර ඇති මට්ටමේ පෞද්ගලීකරණයක් කරමිනුයි. කොමියුනිස්ට් පක්ෂ පාලනයක් යටතේ වුවත් මෙම පෞද්ගලීකරණ ක්‍රියාවලිය දිගටම සිදු වෙමින් පවතින්නක්. වියට්නාමයට දැන් සිටින තැනින්, ඒ කියන්නේ ලංකාව සිටින තැනින්, ඉදිරියට යද්දී රාජ්‍ය අංශය තව දුරටත් දිය වෙන බව ඉතාම පැහැදිලියි. ඉගෙනගන්නවානම් “රතු වියට්නාමයෙන්” වුනත් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා.

Social Sharing
ආර්ථික නවතම පුවත්