කළුතර බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු පහරදී ඝාතනය කරයි

කළුතර බන්ධනාගාරයේ සිටී රැඳවියෙකු පහරදීමක් හේතුවෙන් රෝහල් ගත කර සිටිය දී අද (26) අලුයම මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෝල්කාව, කරවිට ප්‍රදේශයේ පදිංචිව සිටී පී.ජී. සුනිල් නමැති 46 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මියගොස් ඇති තැනැත්තා පහරදීමක් හේතුවෙන් පසුගියදා 24 වනදා රාත්‍රියේ කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත, පසුව එම පුද්ගලයා වාට්ටු අංක 5හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්යෂයට පත්ව ඇත.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාර අධිකාරීවරයා විසින් කළුතර උතුර පොලීසිය දැනුවත් කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවත් පොලීසිය පැවසීය.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

කළුතර උතුර  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වති.

Social Sharing
නවතම පුවත්